තම සහෝදරියගේ 11 හැවිරිදි දියණිය බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර මාමා කෙනකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ මහනුවර මහාධිකරණ දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර දාහතක (17) බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළාය.
ඊට අමතරව පැමිණිලිකාර වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට තවදුරටත් නියෝග කළ මහාධිකරණය එම වන්දි මුදල ගෙවීමට විත්තිකරු පැහැර හරින්නේ නම් ඔහුට තවත් වසරක සිරදඬුවමක්ද නියම කර තිබේ.
මෙසේ දඬුවම් නියම වූයේ මහනුවර, තලාතුඔය පදිංචිකරුවකුටය.
2012 වසරේ ජනවාරි 11 වැනි දින සහ අගෝස්තු 9 වැනි දින අතර කාලය තුළ තලාතුඔය, නාරංතුඩුවදී විත්තිකරු මෙම වරද සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර තිබිණි. විත්තිකරු විසින් දූෂණය කර ඇති 11 හැවිරිදි දැරියගේ මව වෙනත් විවාහයක් කර ගෙන දිවි ගෙවන බවත් සිය පියා සමඟ ජීවත්ව සිටියදී සිය මාමා විසින් ඇය මෙලෙස දූෂණය කර ඇති බවත් අධිකරණ නඩු විභාගයේදී අනාවරණය විය.
මව්බිම