කංසා මිශ්‍ර ඖෂධ නිෂ්පාදනයට අවසර දෙන ලෙස ගාල්ලේ ආයුර්වේද වෛද්‍යවරු ඉල්ලයි

“කංසා මිශ්‍ර ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරිමට අපට අවසර දෙන්නේ නම් ඒවා නිෂ්පාදනය කර පිටරට යැවිමට පුලුවන් එවිට ඩොලර් හිඟා කන්න අවශ්‍ය වන්නේ නැහැ. කෙසේ වෙතත් මෙම යෝජනාව ගෙනාපු ඩයනා ගමගේ මහත්මියට අපි ස්තුතිවන්ත වෙනවා” යැයි සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ සභාපති ගාල්ල නාගරික මන්ත්‍රි ජයවිර පිරිස් මහතා පැවසිය.

ඒ මහතා මෙසේ පැවසුවේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා බල මණ්ඩල රැස්විමේදිය.

එහිදි ඒ මහතා මෙසේද පැවසිය

”ත්‍රෛයිලෝක විජය පත්‍රම් කියන්නේ තුන් ලෝකයම ජය ගන්න පුලුවන් ඖෂධයක්.මේ කංසා වලින් ඖෂධ නිෂ්පාදනය කරන්න අපට අවසර දෙනවා නම් ඩොලර් ගේන හැටි අපි දන්නවා. මේකෙන් සිරප් හදන්න පුලුවනි. පැනඩෝල් පෙත්තට පෙත්තක් හදන්න පුලුවනි. මේක හොඳ ඖෂධයක්. ආහාර ජීරණයට, පණු රෝග වලට, නින්ද නොයාමට ස්නායු රෝග වලට සහ තවත් රෝග රැසකට කංසා මිශ්‍රකර හොඳ ඖෂධ හැදිමට පුලුවන්.එනිසා අප සම්බන්ධ ක‍රගෙන කටයුතු කරනවා නම් ඩොලර් හිඟා කන්න ඕන නැහැ.”

දේශිය වෛද්‍ය ක්‍රමය නගා සිටුවන්න කංසා අබිං අවශ්‍යමයි. අපි කියනව අපට බලය දිල වසරක් තුල පරික්ෂණයක් පවත්වා බලන්න. පැනඩෝල් පෙත්තට අභියෝග කරන්න අපිට පුලුවනි.අපි ලඟ වට්ටෝරු තියෙනවා.රස කාරක හදන්නත් පුලුවනි.එදා යුද්ධ කල දසමහා යෝදයොත් කංසා භාවිතා කලා.මේ සඳහා අපට අවසර දෙනවා නම් ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයක් ගන්න ඕන.හැබැයි ඒකට ඇමරිකන් ඩොලර් හැට පන් දහසක් විතර යනවා.”

කංසා මිශ්‍ර ඖෂධ නිෂ්පාදනයට සභාවේ කැමැත්ත විමසිමේදි පැමිණ සිටි සියලුම ආයුර්වේද වෛද්‍ය මහත්ම මහත්මිහු අත් ඔසවා කැමැත්ත පල කලහ.

මෙහිදි දේශිය වෙදකම සඳහා පාවිච්චි කරනු ලබන දුර්ලබ සහ ගෙවත්තෙන් සොයාගත හැකි ඖෂධිය පැළැටි, ගස්, වැල් ආදිය පිළිබඳවද දැනුවත් කරනු ලැබිය

Werzuo Digital

Leave a Reply