ඩොලර් උල්පතක් පාදමින් මෙරට ඇඹුල් කෙසෙල් ජාත්‍යන්තරයට

මෙරටින් පළමුවරට ලෝක වෙළෙඳපොළට අපනයනය කරන ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක තොගය ලබන 26 දා ඩුබායි වෙළෙදපොළට නිකුත් කිරිමට සියලුම කටයුතු සුදානම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය( Agriculture Sector Modernization Project – ASMP) විසින් දිවයින පුරා අරඹා ඇති කෘෂි ආදර්ශ උද්‍යාන Agri – Demonstration Park වැඩ පිළිවෙළ යටතේ වගා කර ඇති රාජංගනය ඇඹුලු කෙසෙල් උද්‍යානය මේ වනවිට ඉතාමත් සාර්ථක වී තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකය විදේශ විනිමය හිඟයෙන් පෙළෙමින් සීටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගනිමින් වගා කර ඇති රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය අක්කර 200ක වගා කර තිබේ.

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් මේ සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර, නව තාක්ෂණික දැනුම, උපදෙස් හා පුහුණුව ගොවි ජනතාව වෙත ලබා දී ඇත.එසේම ඇඹුල් කෙසෙල් වගාවේ දී ZigZag ක්‍රමයට පැළ රෝපණය කිරීම, බින්දු ජල තාක්ෂණය හා ඊට අවශ්‍ය උපකරණ ලබා දීම , කෙසෙල් වගාවට අමතරව වෙනත් බෝග වර්ග වගා කිරීම මෙන්ම ගොවි ජනතාවට ඉහළ ආදායමක් උපයා ගැනිම සඳහා ආපසු මිල දී ගැනීමේ වැඩපිළිවෙල යටතේ ව්‍යාපාරික ආයතන සම්බන්ධ කර දීම ද මෙම ව්‍යාපෘතිය මගින් සිදු කර තිබේ.

පළමු තොගය අපනයනය කිරීමෙන් පසුව සෑම සෙනසුරාදාවකම කිලෝග්‍රෑම් 12,500 බැගින් ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙද පොළට යැවීමට කටයුතු යොදා ඇති බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පවසයි.

Werzuo Digital

Leave a Reply