පුද්ගලයකු දුම්රිය මාර්ගය අයිනේ ඇදවැටුණු අවස්ථාවේ ඔහුගේ අත මතින් දුම්රියක් ධාවනය වීම නිසා අත වෙන් වී බරපතල තුවා ලබා මහනුවර ජාතික රෝහලට පැමිණීමේ සිද්ධියක් වාර්තා වේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ මහනුවර – කොළඹ දුම්රිය මාර්ගයේ ගමන් කළ මහනුවර පදිංචි 44 හැවිරිදි අයෙකු බව රෝහල් පොලිසිය හඳුනාගෙන තිබේ. සුදුහුම්පල ප්රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ.
දුම්රිය මාර්ගය අසල කිසියම් පුද්ගලයකුගේ අතක් තිබෙනු දැක ඒ බව පොලිසියට දැනුම් දී ඇත.එම කොටස පොලීසිය විසින් මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට භාරදීමට පියවර ගෙන තිබේ.
අදාළ පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී එහි පසෙක තිබූ විශාල වලකට ඇද වැටුන අවස්ථාවේ එයින් ගොඩ ඒම සඳහා දකුණු අතින් රේල් පීල්ල අල්ලා ඉන් ගොඩ ඒමට උත්සහ කරද්දී දුම්රියකට තම අත හසු වූ බවයි. අතින් වෙන් වූ කොටස සොයා බැලුවත් පැවැති අඳුර නිසා එය සොයාගැනීමට නොහැකි වූ බැවින් තනිවම රෝහලට පැමිණි බව ඔහු පවසා තිබේ.
මහනුවර ජාතික රෝහලේ දී සැත්කමකට භාජනය වී ඔහු මේ වනවිට ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.