රිය අනතුරක් බව කියා රෝහලට ගෙන දෙදෙනා මියගියේ වෙඩි තැබීමකින්

රිය අනතුරක් සිදුවු බව කියමින් අඟුණුකොළපැලැස්ස රෝහලට ඇතුළත් කර සිටියදී මරණයට පත් පුද්ගලයන් දෙදෙනා වෙඩි තබා ඝාතනයට ලක්වූ පුද්ගලයන් බවට අනාවරණය වීමත් සමඟ සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බව අඟුණුකොළපැලැස්ස පොලිසිය කියයි.

සිද්ධිය ඊයේ (05) අලුයම සිදුවී ඇතැයි කියති.

මාමඩල, රත්නවීර පාලම ආසන්නයේදී ඊයේ අලුයම තුවාල සහිතව වැටී සිටි මෙම පුද්ගලයන් දෙදෙනා තවත් දෙදෙනකු විසින් රැගෙන ගොස් රෝහලට ඇතුළත් කර තිබිණි. ඔවුන් රෝහලට පැමිණ ඇත්තේ රිය අනතුරකට ලක්ව වැටී සිටියදී තුවාලකරුවන් දෙදෙනා රෝහලට රැගෙන පැමිණි බවය. පසුව රෝහල් බලධාරීන් තුවාලකරුවන් සෝදිසි කරද්දී ඔවුන් දෙදෙනාම මරණයට පත්ව තිබී ඇත. මේ සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් මාමඩල, රත්නවීර පාලම අසලට ගොස් පරීක්ෂණ කිරීමේදී රිය අනතුරක සේයාවක්වත් නිලධාරින්ට දක්නට ලැබී නැත. පසුව කරන ලද විමර්ශනයේදී හෙළි වී ඇත්තේ මොවුන් දෙදෙනා මියගොස් ඇත්තේ රිය අනතුරකින් නොව කිසිවකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් බවය.

වෙඩි තැබූ පුද්ගලයාද මේ වනවිට හඳුනාගෙන ඇති අතර ව්‍යාජ තොරතුරු ලබාදී මියගිය පුද්ගලයන් රෝහලට ඇතුළත් කළ දෙදෙනා සොයා පොලිස් විමර්ශන අරඹා තිබේ.

මියගොස් සිටි දෙදෙනා සූරියවැව හා අම්බලන්තොට පදිංචිකරුවෝය.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා සමඟ තවත් දෙදෙනකු කැබ් රථයකින් පැමිණ ඇති බවය. කිසියම් සොරකමක් සම්බන්ධයෙන් කරන ලද වෙඩි තැබීමකින් මොවුන් මියයන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇත

මව්බිම

Werzuo Digital

Leave a Reply