සුනාමි ව්‍යසනයේ දී ශ්‍රි ලංකාවට ලැබුණු විදෙස් සහාය (විශේෂාංග)

2004 දෙසැම්බර් මස 26 වැනිදා සියලු ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම සමස්‌ත ලෝකයාටම අමතක නොවන දිනයකි.සුනාමි උදම් රළ පහර ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ දකුණු වෙරළ වගේම උතුරු හා බස්‌නාහිර වෙරළේ කොටස්‌ ද මිනිසුන් ද අතුගා දැමීමට සමත් විණි. රිච්ටර් මාපකයේ 9.1 ක්‌වූ ඉන්දුනීසියානු  සුමාත්‍රා දිවයින අසල සිදුවූ ප්‍රබල භූ චලනය හේතුවෙන් ඉන්දුනීසියාව, ඉන්දියාව, මාලදිවයින, සෝමාලියාව සහ තායිලන්තය ඇතුළු රටවල් 14 ක් මෙම සුනාමි තත්ත්වයට මුහුණ දුනි. එතෙක් ශ්‍රී ලාංකිකයන්ට මුහුද මගින් සිදුවන මෙවන් පෙර අත්දැකීමක්‌ සොබාදහම පිළිබඳ නොතිබුණු බැවින් සුනාමිය පැමිණ  ඔවුන්ගේ ජීවිතය ඇතුළු සියලුම දේවල් බිලිගනු ලැබිය. අපේ රටේ 39000 දෙනකුට ජීවිත අහිමි කළ සුනාමිය නිසා අපේ රටේ වෙරළබඩ ප්‍රදේශවලින් සියයට 75කට පමණ විශාල අලාභ හානි සිදුවිය.
සුනාමි විපතේ විදෙස් සහාය
තුන්වන ලෝක දියුණු වෙමින් පවතින රටක් වන අප රට 2004 වසරේ සුනාමි රළ පහරට හසු වීමේ හේතුවෙන් බොහෝ සෙයින් විනාශයට පත්විය.එදා සුනාමි රළ පහරට හසුව බෝහෝ ස්ථානවල සිදුවී කොටුවී සිටි සිය දහස් ගණන් ජනතාව මුදාගැනීම අප රටට තනිවම කළ කාර්යයක් වූයේ නැත. අප රට සතුව ඒ සදහා මුදවාගැනිමට අවශ්‍ය යාන්ත්‍රනයක් තිබුණද එය ඒ වේලාවේ ප්‍රමාණවත් නොවිය.ඒ මොහතේ අප රටට අනිවාර්ය විදෙස් සහන අවශ්‍ය විය.
සුනාමියට හසුවූ විපතට පත්ව සිටින අප රට වැසියන්ට උදව් උපකාර කරන ලෙසට රජය ජාත්‍යන්තර ඉල්ලීම් කළේ ඒ අනුවයි. 
ලෝකයේ දියුණු රටවල් මෙන්ම අප රට තරමටවත් දියුණු වී නොමැති රටවල් පවා ඒ මොහතේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීය.ඒ අනුව අපගේ අසල්වැසි ඉන්දියාව සිද්ධිය වූ ද 26 වනදා සවස් වරුව වන විට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් හා වෛද්‍ය උපකරණ රැගත් ගුවන් යානයක් අප රට වෙත යවා තිබිණි. එය කොග්ගල ගුවන් හමුදා කඳවුරට ගොඩබස්සවා දකුණේ විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතුවල යෙදින.විපතට පත් පුද්ගලයන් බේරා ගැනීම සඳහා ඉන්දියානු ගුවන් හමුදාවට අයත් MI 8 වර්ගයේ හෙළිකොප්ටර් යානා තුනක් දෙසැම්බර් 27වනදා ලංකාවට පැමිණ තිබිණි. එදින දහවල් වන විට වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සහ වෛද්‍ය උපකරණ රැගත් ඉන්දියාවට අයත් ශාරදා නැව ගාලු වරායටද, වියළි ආහාර ඇතුළු අත්‍යවශ භාණ්ඩ රැගත් තවත් ඉන්දියානු නැව් දෙකක් ත්‍රිකුණාමලය වරායටද සේන්දු විය.හෙලිකොප්ටර් යානා තුනක් හා අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් රුසියානු ගුවන් යානාවක් ඒ දිනම සවස දිවයිනට ළඟා විය
මේ ආකාරයෙන් ජපානය, පාකිස්ථානය, ප්‍රංශය, බංගලදේශය, ඇමරිකාව, එංගලන්තය කියුබාව, ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායිලය, කැනඩාව, බෙල්ජියම, ඔස්ට්‍රියාව ඇතුළු රටවල් වලින් ආධාර කණ්ඩායම් සහ සහනාධාර ගලා එන්නට විය. ඒ දිනවල කටුනායක ගුවන්තොටුපල ඉතා කාර්යබහුල ස්ථානයක් බවට පත්විය. එසේම ලැබුණු සහනාධාර තොග ගබඩා කිරීමට කටුනායක ගුවන් තොටුපොලේ ඉඩකඩ මදි විය.මෙම ආධාර කණ්ඩායම් මෙහෙයවිමේ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පැවරීමට රජයට සිදුවිය.
මේ සියලු රටවලින් ආධාර රැගෙන පැමිණියේ එම රටවල ආරක්ෂක හමුදා සාමාජිකයන්ය. ආධාර රැගෙන පැමිණි කණ්ඩායම් සමඟ සහන සැලසීමේ කණ්ඩායම් ද පැමිණ සිටිය. ඔවුහු සිය ශ්‍රමය කැපකොට සුනාමි රළ පහරින් විනාශවී ගිය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ශුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතුවල නිරත වුහ 
ඉන්දියානු නාවික හමුදාව උතුරු නැගෙනහිර පලාත්වල සුනාමි විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු වල නිරත වූහ. අවතැන්ව අසනීපව සිටින පුද්ගලයන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් ආහාර බෙදා ලබා දෙමින් ද ඔවුන් කල සේවය ප්‍රශංශනියයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිලාවේලි  ප්‍රදේශයේ සියලුම නිවාස ශුද්ධ පවිත්‍ර කර යළි පදිංචියට සුදුසු ලෙස සකස් කිරීමද ඉන්දියානු සහන කණ්ඩායම් අතින් සිදු කෙරිණි. මඩකලපුව අම්පාර අම්පාර දිස්ත්‍රික්කවලට ද ඉන්දිය රජයෙන් ආධාර උපකාර කල අතර සුනාමියෙන් විනාශයට පත්වූ ආරුගම්බේ පාලම යළි සකසා දෙමින් ඉන්දියානු රජය දැක්වු සහාය ද ප්‍රශංසනියයි.
එංගලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් කල්ලඩි වෙරළට ආසන්න මුහුදේ නැංගුරම්ලා මඩකලපුව ප්‍රදේශය ශුද්ධ පවිත්‍ර කිරීම්වල නිරත වුහ. එංගලන්ත නාවික හමුදා සාමාජිකයින් විනාශ වූ මඩකලපුව ගම්මාන පිළිසකර කළහ.
ඇමරිකාව ප්‍රමුඛ තවත් බොහෝ රටවල් වලින් පැමිණි සහන කණ්ඩායම් දකුණු පළාතේ ශුද්ධ පවිත්‍ර කිරීම් වල නිරතව සිටියහ. ඇමරිකාවෙන් පැමිණි මැරයින් භට කණ්ඩායම දකුණු පළාතේ සිදු කළ මෙහෙවර ද ඉතා අගය කලයුතු ක්‍රියාවකි. 
ඇමරිකානු නාවික හමුදාවේ බල ඇණියක්ද සහන් සැලසීම සඳහා දිවයිනට පැමිණියහ.
ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා අවශ්‍ය බැකෝ යන්ත්‍ර, කැටපිලර් යන්ත්‍ර ඇතුළු සියලුම උපකරණ හා යාන වාහන ද රැගෙන පැමිණි ඇමෙරිකානු හමුදා සමාජික සමාජිකාවන්  පැවති දැඩි අව්වද නොතකා වෙහෙස මහන්සිය නොබලා දැඩි කැපවීමකින් මෙම කාර්යයන්හි නිරත වුහ.
ඉන්දියානු හා ඇමරිකානු හමුදා මෙලෙස සහන කටයුතු සදහා දිවයිනට පැමිණීම සමහරුන්ට මහත් හිසරදයක්ව තිබිණි. ඇමරිකානු හමුදාව අප රටේ සිය ආරක්ෂක මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට යන බවටත් ඉන්දියානු හමුදාව එල්.ටී.ටී.ඊ සංවිධානයට පහර දීමට සූදානම් වන බවට එවක  විවිධ කටකතා පැතිර ගියේය. එහෙත් සියලු කටකතා බොරුවක් බව ඔප්පු කරමින් විපතේදී පිහිට වූ මේ හමුදාවන් සිය මෙහෙවර අවසන් කිරිමේන් පසු දිවයිනෙන් පිටත්ව ගියහ. 
2004 සුනාමියේ දි මේ රටවල ආරක්ෂක හමුදා මෙසේ සිය ශ්‍රමයෙන් අප රටට පිහිට වෙද්දි විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සිය ගණනක් අප රට විපතින් ගොඩ ගැනීම සඳහා ඉදිරිපත්ව සිටියහ 
අන්තර්ජාතික රතුකුරුස කමිටුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය, ප්‍රමුඛ සංවිධාන රැසක් විසින් අප රටට සහාය දෙනු ලැබිය.
මේ අකාරයට අප රටට සුනාමි ව්‍යසනයේදි විදෙස් හමුදා සහ ජාත්‍යන්තර සංවිධාන අප රටට සහාය දක්වද්දි ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානින් සහ විදේස් රටවල් වල නායකයින් අප රටට පැමිණ විපතින් ගොඩ එමට ධෛර්යක් සැපයුහ.
එවක එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් කොෆි අන්නන්, ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් බුෂ්, බිල් ක්ලින්ටන් ද එංගලන්තයේ ඔටුන්න හිමි කුමරු චාල්ස් කුමරු ද, ලෝක බැංකු සභාපතිවරයා, ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරයා, තුර්කි අගමැතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින්ද රාජ්‍ය නොවන සංවිධානවල නායකයින් ද අප රටට මෙම විපත සිදුවු අවසථාවේ පැමිණියහ.
මෙම ලිපියෙහි මා සදහන් කලේ සුනාමි ව්‍යසනයේදි විදෙස් රටවල්වල හමුදා සහ සංවිධාන අප රටට කල මෙහෙය සහ සේවයන් පිළිබදව පමණි. එය අපේ රටේ ආරක්ෂක අංශ අවතක්සේරුවට ලක් කිරිමක් නොවන බවත් පැවසිය යුතුය. එහෙත් රටකට හදිසි ආපදාවකදි ශක්තිමත් ආරක්ෂක හමුදාවක් තිබිමේ වැදගත් කම ජාති භේදයකින් තොරව සෑම ශ්‍රි ලාංකිකයෙකුටම වැටහුනේ 2004 සුනාමි ව්‍යසනයේ දී ය. සුනාමි රළ පහරින් සිය හමුදා කදවුරු සුනු විසුනුවි මහ මුහුදට ගසාගෙන යනු දැක ඔවුන් උත්සාහ කලේ කදවුරු අවට ජනතාව බේරාගැනිමටයි. ඔවුන්ගේ කදවුරු තුල තිබු සියලුම දේවල් අවතැන්වු ජනතාවට බෙදා දි සිය අත්වලින් කුණුවු මළ සිරුරු පවා ඉවත් කිරිම්ට තරම් මානුෂික වුහ. ව්‍යසනයකදි අප රටේ ආරක්ෂක හමුදාවල වගකිම් හා යුතුකම් එසේ විය. සුනාමි ව්‍යසනයේ දී යුද්ධයක් තිබියදි පවා සිය වගකිම් හා යුතුකම් ඉටුකරමින් ක්‍රියා කල අකාරය ප්‍රශංසනියයි. යුද්ධයේ දි සිය ජිවිතය නොතකා රට වෙනුවෙන් දිවි පිදු හමුදා සමාජිකයින් රටට පැමිණි ස්වාභාවික ව්‍යසනයේදි එලෙස ඉදිරිපත් වි සිය සේවය රට වෙනුවෙන් ලබාදුන්හ.
අපට මුළු ලෝකය හා එක්ව ඉදිරියට යැමට අවස්ථාවක් සුනාමියෙන් පසු හිමිවිය.ලෝකයේ බොහෝ රටවල් අපට බෝහෝ සෙයින් සමිප විය උදවු කලහ එහෙත් එහිදි අප රට එම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තා ද යන්න තීරණය කිරිම ඔබට බාරය….
✍️ ෆර්හාන් නිසාම්දින් 
Werzuo Digital

Leave a Reply