සීයයි මුණුපුරයි පාරේ වැටී තිබු රුපියල් 30,000ක් අහුලා පොලීසියට ගෙනත් දෙයි

සීයකු හා මුනුපුරකු අරලගංවිල වීරාණ මංසන්ධිය අසල බිම වැටී තිබූ රුපියල් 30,000ක මුදලක් ඊයේ (26) පොලිසියට ගෙනැවිත් භාරදීමේ ආදර්ශ පුවතක් අරලගංවිල පොලිසියෙන් වාර්තා වේ.

මහියංගණය සිට වීරාණ ඥාති නිවෙසකට පැමිණ ඔවුන් අරලගංවිල නගරයට එමින් සිටියදී බිම වැටී තිබූ මෙම මුදල අහුලා පොලිසියට භාර දුන් බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. පී. වසන්ත ප්‍රේමලාල් මහතා සඳහන් කළේය.

තැනින් තැන වැටී තිබූ මෙම රුපියල් පන්දාහේ නෝට්ටු හය පොලිසියට ගෙනැවිත් භාරදී ඇත්තේ මහියංගණ අංක 2 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල පදිංචි 77 වියැති පී.ජී. ධර්මදාස හා ඔහුගේ අවුරුදු 11ක් වයසැති ජේ.එම්. මාධව කල්හාර යන පුතු විසින් බව වසන්ත ප්‍රේමලාල් මහතා වැඩිදුරටත් පැවැසීය.

එම පුතු මහියංගණය ජාතික පාසලේ 6 ශ්‍රේණියේ ඉගෙනු ලබන අතර ඔහුගේ පියා කන්දකැටිය පොලිස් ස්ථානයේ සේවයේ නියුතු ජේ.එම්. ජයවර්ධන යන අය බවත් ඔහු කලක සිට අසනීප තත්ත්වයෙන් පසුවන අතර ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මෙම සත්ක්‍රියාව සිදුකළ බව පුතු විසින් පොලිසියට පවසා ඇත.

සීයා සහ පුතු විසින් පොලිසියට ගෙනැවිත් භාරදුන් රුපියල් 30,000 සාක්ෂි සහිතව සනාථ කළ හැකි හිමිකරුවකු සොයා එන තෙක් පොලිස් භාරයේ තබා ගන්නා බවත් මුදල් පසුපස හඹා යන සමාජයක සීයා සහ පුතු කළ මෙම උතුම් ක්‍රියාව පිළිබඳ ඔවුන් දෙදෙනාට පොලිස් ස්ථානාධිපතිවරයා කෘතවේදී ස්තූතිය පිරිනැමූ අතර ඒ අය සමාජයට මහත් ආදර්ශයක් බව ද සඳහන් කළේය.

(මව්බිම)

Werzuo Digital

Leave a Reply