තම මවගේ ඉදිරි වගකීම තමාට භාර ගැනීමට නොහැකි බව සඳහන් කළ ලිපියක් එම මවගේ පුතා තම බිරිය අතේ වැඩිහිටි නිවාසයට ඉදිරිපත් කර ඉන් දිනකට පසුව එම මව මියගිය සංවේදී පුවතක් පෙරේදා (25දා) කෑගල්ල මහ රෝහලෙන් වාර්තා වූ බව කෑගල්ල පොලිසිය කියයි.
මියගොස් තිබුණේ ගලිගමුව, පොහොරඹේ ආබාධිත නිවාසයේ වසර 7කට පමණ ආසන්න කාලයක් නැවැතී සිටි කෑගල්ල, දික්ඇල්ල පදිංචිව සිටි 70 හැවිරිදි දෙදරු මවකි.
එම කාන්තාවගේ සැමියා දරු දෙදෙනා කුඩා කාලයේදී මියගොස් ඇත. සැමියා මියයෑමෙන් පසු මෙම කාන්තාව දියණිය හා පිරිමි දරුවා හදා වඩාගෙන ජීවත් වෙමින් සිටියදී වැඩිමල් දියණිය කෑගල්ල, හපුවිට ප්‍රදේශයේ පුද්ගලයෙක් සමඟ විවාහ වී එහි පදිංචියට ගොස් තිබේ. දියණිය සිය මව පිළිබඳව සොයා බලා නොමැති බව පොලිසිය කියයි.
මෙම මව පිරිමි දරුවා සමඟද අමනාපකමක් ඇති කරගෙන අසල්වැසි නිවෙස්වලට ගොස් ඔවුන් දෙන දෙයක් කා බී ජීවත් වෙමින් සිට ඇත. ඇයට සලකන්න කෙනෙක් නොමැති බැවින් අසල්වැසි කාන්තාවක් ග්‍රාම නිලධාරියාගේ මැදිහත්වීමෙන් කෑගල්ල පොලිස් වසමේ ගලිගමුව, පොහොරඹේ ආබාධිත නිවාසයට මීට වසර 7කට පමණ ඉහතදී යොමු කොට ඇත. පසුව මෙම පිරිමි දරුවාද විවාහ ගිවිසගෙන දික්ඇල්ල, ඉඹුල්ගල පදිංචියට ගොස් කොළඹ ප්‍රදේශයේ කුලී වැඩ කරමින් ජීවත් වෙමින් සිට තිබේ.
මව ආබාධිත නිවාසයේ සිටියදී ඉකුත් 23 දා දහවල් පුතා සිය මව භාර ගැනීමට නොහැකි බව ලිපියක් ලියා බිරිය අතේ වැඩිහිටි නිවාසයේ පාලිකාවට යවා ඇත. පසුව ලේලිය ලිපිය රැගෙන ගොස් පාලිකාවට දී තම අනන්‍යතාව තහවුරු නොකර ආපසු නිවෙසට ගොස් තිබේ. (24දා) රාත්‍රි ආබාධිත නිවෙසේදී මෙම මව මියගොස් ඇති බව පොලිසිය කියයි.
පසුව පාලිකාව කෑගල්ල මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධිනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය හා විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් කුමාර පාරඹේ (53469) නිලධාරියා ආබාධිත නිවාසයට ගොස් මූලික විමර්ශන කටයුතු කර වැඩිදුරටත් විමර්ශන කටයුතු සඳහා දේහය කෑගල්ල මහ රෝහලට රැගෙන ගොස් තිබිණි.
පසුව පාලිකාවගේ දැනුම් දීමකට අනුව පුතා 25 වැනිදා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයට පැමිණ හදිසි මරණ පරීක්ෂණයට පෙනී සිටියේය. එහිදී පාලිකාව හදිසි මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් පැවැසුවේ එම මව අවස්ථා කිහිපයකදීම හඬමින් පවසා ඇත්තේ තම දරු දෙදෙනා බැලීමට අවශ්‍ය බවත් විශේෂයෙන්ම පුතා බැලීමට අවශ්‍ය බවත් තමාට පැවැසූ බවයි. පසුව තමන් පුතාව දැනුවත් කළ බවත් එහෙත් එක් වරක්වත් පුතා නොපැමිණි බවත් ඇය පැවැසුවාය.
ඇයගේ 40 හැවිරිදි පුතා හදිසි මරණ පරීක්ෂණයේදී පැවැසුවේ තමන් පදිංචිව සිටින නිවස ආසන්නයේ ආබාධිත නිවාසය පිහිටා තිබුණත් මව බැලීමට නොගිය බවත් නමුත් අම්මා මියයෑම තමන්ට විශාල දුකක් බවත්ය.
මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය 25 වැනිදා කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්ත විජේරත්න මහතා කළ අතර හෘදයාබාධයක් හේතුවෙන් මරණය වී ඇතැයි කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධිනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය පැවැසුවාය.
මව්බිම