ගැඹුරු මුහුදේ මත්ස්‍යයෙකු සපා කෑ ධීවරයෙකු බේරාගනි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අනතුරට පත්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු විදෙස් නෞකාවක් මගින් බේරගෙන අද (18) ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කල බව නාවික හමුදාව පවසයි.

වෙනනප්පුව ධීවර වරායෙන් ඉකුත් 17 වන දින ධීවරයින් හත් දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ  බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු, ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මත්ස්‍යයෙකු සපාකෑමෙන් තුවාල ලබා අසාධ්‍යව ඇති බවත්, එම ධීවරයා වෙත ප්‍රථිකාර කිරීම සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දි තිබේ.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා මුදවා ගැනීම සඳහා සහය වන ලෙස, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් ‘MT Kiel Express’ නැමැති විදේශීය නෞකාව‍‍ දැනුවත් කර තිබේ.

පසුව අනතුරට පත් වූ ධීවරයා ‘MT Kiel Express’ නෞකාව වෙත ලබාගැනීම සිදු කෙරුණු අතර, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් අද දින (2024 සැප්තැම්බර් 18) උදෑසන කෞළඹ වරාය ආසන්නයට රැගෙන ඒමෙන් අනතුරුව, බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා රෝගී ධීවරයා කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් මෙලෙස ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

Werzuo Digital

Leave a Reply