ඊසාන දිග ඉන්දියාවේ මනිපුර් ප්‍රදේශයේ දී පසුගිය මැයි මාසයේ දී සිදු වූ සමූහ ස්ත්‍රී දූෂණයකට සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ සමස්ත ඉන්දියාව ම කැලඹීමට පත් වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය
පසුගිය බදාදා (19) සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වු මෙම වීඩියෝවේ පිරිමි සමූහයක් විසින් නිරුවත් කාන්තාවන් දෙදෙනෙකු බලහත්කාරයෙන් ඇදගෙන යන දර්ශනයක් අඩංගු වී ඇති අතර, විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරන පරිදි ඉන් එක් කාන්තාවක් සමූහ දූෂණයට ලක් වී ඇති අතර, වීඩියෝවේ සටහන් නොවූව ද තවත් කාන්තාවක් ද බලහත්කාරයෙන් නිරුවත් කර ඇති බව වාර්තාවේ.
එය කවුරුන් විඩියෝ කරන ලද්දක් ද, කවුරුන් සමාජ මාධ්‍යයට මුදාහරින ලද්දක්දැ යි තවමත් තහවුරුවී නැත.
එය සමාජ මාධ්‍යයන්ගෙන් ඉවත් කරන ලෙස ඉන්දීය රජය නියෝග කර තිබේ.
මනිපුර් ප්‍රදේශයේ ජීවත් වන Meitei සහ Kuki නම් ජනවර්ග ද්විත්වය අතර කලක පටන් පවත්නා ගැටුමක එක් අවස්ථාවක් ලෙස මෙම සිදුවීම හඳුන්වා දිය හැකි අතර, මෙවැනි ගැටුම්වල දී ස්ත්‍රී දූෂණය ආයුධයක් ලෙස භාවිත කෙරෙන බව ද විදෙස් මාධ්‍ය මගින් වාර්තා කළේය.
බිහිසුණු ප්රචණ්ඩ ක්‍රියා නිසා අවම වශයෙන් 142 දෙනෙකු මියගොස් ඇති අතර 60 000ක් පමණ දෙනා අවතැන්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
40 000ක සන්නද්ධ භට පිරිසක් ගැටුම් පාලනය කිරිම සදහා මනිපූර් ප්‍රාන්තයට යොදවා ඇත.
කෙසේ වෙතත් මෙම සිදුවීමට සම්බන්ධ බවට සාක්ෂි සහිතව (වීඩියෝ පටය නිසා) ඔප්පු වී ඇති අයගෙන් තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් අයෙකු පමණක් බව එම වාර්තා සඳහන් කළේය.
අතිශය සංවේදී දර්ශන සහිත මෙම කෙටි වීඩියෝ පටය මුලු ලෝකයේ ම ඇස් නැවතත් ඉන්දියාව දෙසට හැරවීමට සමත් වී ඇති අතර, මෙහි දී ඉන්දීය ප්‍රසිද්ධ පුද්ගලයන්, ඉන්දීය නළු නිලියන්, ක්‍රිඩකයින් ඇතුළු සිවිල් සංවිධාන විසින් මෙම සිදුවීම දරුණු ලෙස විවේචන කරමින් ඊට සම්බන්ධ වූ පිරිසට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත් ඉන්දියාව පුරා මෙම සිද්ධියට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වි ඇති අතර විදෙස් රටවල් කිහිපයක නායකයන්, ජාත්‍යන්තර සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන රැසක් මෙම සිද්ධිය හෙලාදැක තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.