සිය තානාපති කාර්යාල නිලධාරීන්ගේ පවුල්වලට වහාම යුක්‍රේනයෙන් පිටවන ලෙස අමෙරිකාව දැනුම් දෙයි

රුසියානු හමුදාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ අවදානම ඉහළ යෑම හේතුවෙන් එරට සිටින සිය තානාපති කාර්යාලයේ නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන්ට වහාම රටින් පිට වන ලෙස අමෙරිකාව නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය

එමෙන්ම යුක්රේනයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවයේ නියුතු අත්‍යවශ්‍ය නොවන නිලධාරීන්ට ද යළි අමෙරිකාව බලා පැමිණීමට අවසර ඇති බවත්, එරට සිටින සෙසු අමෙරිකානු ජාතිකයන්ට ද එය අදාළ බවත් නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රජය ප්‍රකාශ කර තිබේ.

හේතුවක් නිසා වත් යුක්‍රේනයේ සංචාරය නොකරන ලෙස ඇමරිකාව සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ.

ඕනෑම මොහොතක රුසියානු ආක්‍රමණයක් සිදුවිය හැකි බැවින් ඊට මුහුණදීමට සූදානමින් සිටින ලෙස ද ඇමරිකාව අනතුරු අඟවා තිබේ.

රුසියානු ආක්‍රමණයක් පිළිබඳ දැනට සති කිහිපයක සිට අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන අතර, යුද උණුසුම හේතුවෙන් යුක්රේනයේ සහ රුසියාවේ සංචාරය නොකරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනටමත් සිය ජනතාවට අනතුරු අඟවා තිබේ.

මේ අතර යුක්රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු සැලසුමක් නැති බව රුසියාව දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කරමින් සිටී. එසේ වූවත් මේ වන විට යුක්රේන දේශසීමා අසළ රුසියානු හමුදා සෙබළුන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සීරුවෙන් තබා ඇතැයි නේටෝ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

යුක්රේනයට සහාය පළ කරමින් අමෙරිකාව පසුගියදා පතරොම් ද ඇතුළුව ටොන් 90ක පමණ අවිආයුධ තොගයක් යවා ඇති අතර, ඉදිරියේදී වැඩි දුරටත් හමුදාමය සහාය දැක්වීමට සූදානමින් පසුවන බව එම වාර්තා සදහන් කලේය..

Werzuo Digital

Leave a Reply