ගාසා යුද්ධයට වසරයි – පලස්තීනුවන් 42,000ක් සහ ඊශ්‍රායල ජාතිකයන් 1100ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද ගැටුමට ඊයේ (07) දිනයට වසරක කාලයක් සම්පූර්ණ විය.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට ඇරඹි ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගැටුමින් මේ වන විට පලස්තීන ළමුන් 16,765 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 42,870කට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙන බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කුඩා ළමුන් ඇතුළු ලක්ෂයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් සුන්බුන් අතර තවමත් ගොඩගැනීමට නොහැකි වූ මළ සිරුරු 10,000කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් ව ඇති බවත් පුපුරා නොගිය බෝම්බ ද ඇති බවද එම අමාත්‍යාංශය පවසනවා.

මෙහිදී ඊශ්‍රායලයේ 1,139 දෙනෙකු මිය ගොස්  8,730 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලය පවසයි.

මනුෂ්‍යත්වය මහා ඛේදවාචකයක් නිර්මාණය කරමින් තවමත් නිමාවක් නොදකින මෙම යුද ගැටුමෙන් විනාශ වූ පලස්තීනයේ ගාසා හි ගොඩනැගිලි සුන්බුන් ඉවත් කිරීමට අවම වශයෙන් වසර 14ක් පමණ ගතවනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වසරකට වැඩි කාලයක් පුරා පවතින යුද ගැටුම් හේතුවෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ  ගාසා තීරය සහ එහි ජීවත්වන සිවිල් ජනතාවයි.

ගාසා තීරය යනු ඊශ්‍රායලයට නිරිත දිගින් ඊජිප්තුවට මායිම්ව පිහිටි කිලෝමීටර 40ක් දිග සහ කිලෝමීටර 10ක පළලින් යුත් බිම් තීරුවක්.

එය පැය 8කින් සාමාන්‍ය පුද්ගලයෙකුට ඇවිද යා හැකි බිම් ප්‍රමාණයක්.

ගාසා තීරය ලොව වැඩිම ජන ඝනත්වය සහිත භූමියක් වන අතර වර්ග කිලෝමීටරයක් තුළ පුද්ගලයින් 5,700කට අධික පිරිසක් වාසය කරයි

ගාසා හි ඊශ්‍රායල මෙහෙයුම් තීරයේ උතුරු කොටසෙන් ආරම්භ වී දැවැන්ත හානියක් සිදු කරමින් ඊජිප්තු දේශසීමාවේ රෆා දක්වා සිතියමේ පහළට ගමන් කළේ ය

ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කරන ප්‍රහාර හමුවේ ගාසා තීරයේ ගොඩනැගිලි මේ වනවිට සුන්බුන් ගොඩක් බවට පත්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ නවතම ඇස්තමේන්තුව අනුව ගාසා තීරයේ ගොඩගැසී ඇති සුන්බුන් ප්‍රමාණය ටොන් මිලියන 42 ඉක්මවන බවත් මෙය ගාසා හි එක් එක් වර්ග මීටරය සුන්බුන් කිලෝග්‍රෑම් 115කින් වැසී තිබීමට සමාන වේ.

මෙම සුන්බුන් ප්‍රමාණයෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩය 11 වතාවක් පිරවිය හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

පුපුරා නොගිය බෝම්බ සහ හානිකර ද්‍රව්‍ය අඩංගු විය හැකි ගාසා හි මිනිසුන්ට මාරාන්තික තර්ජනයක් වන සුන්බුන් කැබලි ඉවත් කිරීමට ඩොලර් මිලියන 500 වැඩියෙන් අවශ්‍ය බව එක්සත් ජාතීන් ඇස්තමේන්තු කරයි

ගාසා හි ගොඩනැගිලි 163,000කට ආසන්න සංඛ්‍යාවක් යුද්ධය හේතුවෙන් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හෝ හානියට පත්ව තිබෙන බවත් ඒ අනුව මෙම යුද්ධයේ ආරම්භයේ සිට ගාසා හි සියලු ම නිවාසවලින් 70% කට වැඩි ප්‍රමාණයක් හානි වී හෝ විනාශ වී ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

ඒ අනුව ගාසා හි අවතැන් වූ බහුතරයකට මෙම යුද්ධය අවසන් වූ විට ආපසු යාමට තැනක් නොමැත.

යුද්ධයේ පළමු දින 6 තුළ පමණක් ඊශ්‍රායල ගුවන් හමුදාව බෝම්බ 6,000කට වඩා ගාසා වෙත හෙළා ඇත.

ගොඩනැගිලි තුළ තිබූ ඇස්බැස්ටොස් පුපුරා යාමත් සමඟ එහි තන්තු ශරීරගත වීමෙන් වසරක් තුළ ගාසා තීරයේ උග්‍ර ශ්වසන ආසාදිතයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එමෙන්ම ගාසා හි පෙනහළු පිළිකා රෝගීන්ගේ වර්ධනයක් ද පෙන්නුම් කරන බව වාර්තා වනවා.

මේ අතර ගාසා තීරයේදී සැම පැයක් තුළ දිම බෝම්බ 42 ගාසා තීරයට හෙලන බවත් කුඩා ළමුන් ඇතුළු 15 දෙනකු මිය යන බවත්, 35 දෙනෙකු තුවාල ලබන බවත්, ගොඩනැගිලි 10 විනාශ වන බවත් අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.

Werzuo Digital

Leave a Reply