වට්ටක්කා වගා කරලා ගොඩගිය ගොවියා

මෙවර යල කන්නයේ අක්කරයක පමණ බිමක වට්ටක්කා වගා කර එහි සාර්ථක අස්වැන්න අලෙවි කිරීම තුළින් රුපියල් ලක්‍ෂ 17ක පමණ මුදලක් ලබා ගැනීමට හැකි වු පුවතක් මහවැලි බී කලාපයේ නැඟෙනහිර මායිම අවසන්වන්නේ නාගස්තැන්න ගොවි ගම්මානයෙන් වාර්තාවේ.

දීර්ඝ කාලයක් තිස්සේ යල මහ දෙකන්නයේ වගාවේ නිරතව සිටි චාමර ප්‍රදීප් සේනාරත්න යන ගොවි මහතා මෑතක සිට තම ගොවි බිමේ වී වගාවට අමතරව අතිරේක බෝග වර්ග වගා කිරීම තුළින්ද සාර්ථකව ආදායම් උපයන බව පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ඒ මහතා.

පුංචි කාලේ ඉඳලම මම කුඹුරු ගොවිතැන් කළා. අම්මා අප්පච්චිගෙන් ඒ දැනුම ලැබුණේ. හමුදාවේ ඉන්න කාලෙත් නිවාඩුවට ගෙදර ඇවිල්ලා අප්පච්චිගේ ගොවිතැන් කටයුතුවලට උදව් කරනවා. ඒ මොකද අපේ පවුලේ ආර්ථිකය ගොඩනැඟිලා තිබුණේ ගොවිතැන මත. වෙනත් ආදායම් මාර්ග තිබුණේ නෑ. මට රජයෙන් ඉඩම් ලැබිලා නෑ. අප්පච්චිට මහවැලියෙන් ලැබුණු ඉඩම තමයි මම වගා කළේ. පසුව අඳ,බදු ක්‍රමයට කුඹුරු අරගෙනත් වගා කළා. අපි පුරුද්දට හැමදාම කළේ කුඹුරුවල වී වගා කරන එක. නමුත් වී වගාව විතරක් කරලා ගොඩයන්න බෑ කියන එක තේරුම් ගත්තා

පස්සේ මම තීරණය කළා පසුගිය කන්නයේ වට්ටක්කා වගාවක් ආරම්භ කරන්න. නමුත් ඒ පළවෙනි වතාවේ වගාව අසාර්ථක වුණා. ඒකට හේතුව හොඳ බීජ වර්ග මට ලැබුණේ නෑ. රසායනික පොහොරත් මට ලැබුණේ ගුණාත්මක ඒවා නෙවෙයි. ඒ නිසා මම ගොවිතැන ගැන කලකිරීමෙන් හිටියෙ. විශේෂයෙන් මේ අතිරේක බෝග වගාව ගැන. ආයෙම අතිරේක බෝග වගාව කරන්නේ නෑ වී වගාවම කරනවා කියලා හිතාගත්තා. ඒ වෙලාවේ මහවැලියේ ක්‍ෂේත්‍ර සහකාර නිලධාරී මහත්තයා මට කිව්වා චාමර මේ වැඩේ අත්හරින්න එපා. ලබන වතාවෙත් වට්ටක්කා වගාව කරන්න. අපි උදව් කරන්නම් කියලා. ඒ අනුව තමයි මේ සැරේ වට්ටක්කා වගා කළේ. නමුත් ගිය සැරේ වගේ නෙවෙයි මට මේ වතාවේ වගා කරන්න හොඳ බීජ වර්ග ලැබුණා. පොහොරත් කලට වෙලාවට ලැබුණා. ඒ නිසා සාර්ථක අස්වැන්නක් ගන්න මට පුළුවන් වුණා. අක්කරයක වට්ටක්කා වගාවට රුපියල් ලක්‍ෂ 04ක් විතර වියදම් ගියා. නමුත් ලක්ෂ 17ක හොඳ ආදායමක් මට ලැබුණා. 

Werzuo Digital

Leave a Reply