ගාලු කොටුවේ අනතුරුදායක ගස් ජිවිතවලට අවදානමක්

ලෝක උරුමයක් වූ ඓතිහාසික ගාලු කොටුපවුර තුළ පිහිටි විශාල ප්‍රමාණයේ පාරේ මාර, නුග ඇතුළු ගස් වල ඇති අනතුරුදායක අතු හේතුවෙන් ගාලු කොටුවට පැමිණෙන පාසල් සිසුන්ගේ, දෙස් විදෙස් සංචාරකයන්ගේ මෙන්ම අධිකරණ කටයුතු සඳහා පැමිණෙන ජනතාවගේ ජීවිතවලට අවදානමක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම අවදානම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව ඔවුන් පවසයි.

යම් අනතුරක් වූ පසු ඒ ගැන පසුතැවීමට වඩා අනතුර වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවද ප්‍රදේශවාසී පවසයි.

මේ සම්බන්ධයෙන් අප ගාලු උරුමය පදනමෙන් විමසීමක් කළ අතර එහි සභාපති නිලාන් කුරේ මහතා කියා සිටියේ කොටු තුළ පිහිටි ගස් සම්බන්ධයෙන් තම ආයතන කටයුතු නොකරන බවත් ඒ සඳහා වගකීම් ඇති ආයතනය ගාල්ල මහ නගරසභාව වන බැවින් ඔවුන්ගෙන් විමසන ලෙස ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ජනතාව තමන් වෙතද මෙම අනතුරුදායක බව පිළිබඳව දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ගාල්ල මහ නගර සභාව දැනුවත් කළ බව ද ඔහු පැවසීය

පසුව අප මේ පිළිබඳව ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් තුෂාරා රස්නායක මහත්මියගෙන් විමසීමක් කළෙමු. එහිදී ඇය කියා සිටියේ මෙම ගස්වල පවතින අනතුරුදායක අතු සම්බන්ධයෙන් තාක්ෂණ උපදෙස් කැඳවා ඇති බවත් උපදෙස් ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගිනි නිවන අංශය දැනුවත් කර අතු කැපීමට කටයුතු කරන බවද පැවසීය

Werzuo Digital

Leave a Reply