මාතර ගොඩගමදී බසයෙන් ඇදවැටුණු උසස් පෙළ සිසුවා ජීවිතයෙන් සමු ගනී

බස් රථයකින් හදිසියේ බහින්නට උත්සාහ ගැනීමේදී මාතර ගොඩගම ප්‍රදේශයේදී පෞද්ගලික බසයක පාපුවරුවෙන් බිමට ඇද වැටී අනතුරට පත්ව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි සිසුවා පෙරේදා (19) ජීවිතක්ෂයට පත්ව ඇත.

මාතර රාහුල විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා සිටි විශ්ව සමාධි සිසුවා මාතර සිට අකුරැස්ස දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයකින් ඇදවැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. ඒ පසුගිය 10 වැනිදාය.

එම අනතුරින් පසු අවට සිටි පිරිස් සිසුවා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර දින 09ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

බස් රථයෙන් ඇදවැටීමෙන් සිසුවාගේ හිසට බරපතළ තුවාල සිදුව තිබූ අතර, බස් රථවල ගමන් කිරීම පිළිබඳ වැඩි පළපුරුද්දක් නොමැතිව සිට ඇති විශ්ව සමාධි ඉසදීන් නගරයේ පදිංචිකරුවකු වන අතර, තම නි‍ෙවස පසුකර බසය ඉදිරියට ධාවනය වෙමින් තිබියදී මෙලෙස බසයෙන් බසින්නට උත්සාහ දැරීමේදී මෙලෙස ඇදවැටෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඔහු දැනට පිළිතුරු පත්‍ර පරීක්ෂාව සිදු කරමින් තිබෙන අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙකි.

Werzuo Digital

Leave a Reply