රටේ තරුණ පරපුර වනසන අයිස් මාරයා ගැන දැනගන්න

ක්‍රිස්ටල් මෙත් නොහොත් අයිස් මත්ද්‍රව්‍යය ගැන වර්තමානයේ නොදන්නා කෙනෙකු නොමැත. අයිස් මත්ද්‍රව්‍යය මීට වසර කිහිපයකට පමණ පෙර ලංකාවට ආගන්තුක වුවත් දැන් නම් මෙය රටේ සුලභ වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරමින් පවතින බව මාධ්‍ය හා සමාජය හරහා දකින්නට අසන්නට ලැබේ.

මෙතැම්ෆිටමීන් (Methamphetamine) හෙවත් අයිස් උත්තේජක මත්ද්‍රව්‍යයක් ලෙස හඳුන්වනු ලබයි. ක්‍රිස්ටල් මෙත් සහ ක්‍රිස්ටල් වැනි නාමයන්ගෙන් ද හැඳින්වෙන මෙහි ක්‍රියාකාරීත්වය වන්නේ මොළය සහ ශරීරය අතර පණිවුඩ හුවමාරුව වේගවත් කිරීම යි. ඉතා බලවත් මත්ද්‍රව්‍යයක් වන මෙය වහාම ඇබ්බැහි කරවන අතර එම කරුණ නිසාම, ඉතා බරපතල අතුරු ආබාධ ඇති කිරීමට සමත් වෙන මත්ද්‍රව්‍යයකි. 

අයිස් සාමාන්‍යයෙන් පළිඟු හැඩැති කුඩා ස්ඵටික ආකාරයෙන් දැකගත හැකි අතර, සුදු හෝ දුඹුරු පැහැති, තියුණු ගන්ධයක් සහිත කුඩක් වශයෙන් ද සමාජ සංසරණයට එක්වේ.

මෙම මත්ද්‍රව්‍යයෙන් උද්වේගකර හැඟීමක් ඇතිකරන්නේ මිනිත්තු කීපයකට පමණයි. ඉන්පසු එහි සාමාන්‍ය බලපෑම පැය කීපයක් පුරා රඳා පවතිනවා. මේ නිසා මත්ද්‍රව්‍ය මට්ටම අඛණ්ඩව රුධිරයේ තබාගැනීමට නම් දිගින් දිගටම මෙම මත්ද්‍රව්‍යය ලබාගැනීමට භාවිතා කරන්නාට සිදුවෙනවා. ඇබ්බැහිය ආරම්භ වන්නේ මෙවිට යි. මේ නිසා දින කීපයක් යනතුරු සුවදායී නින්දක් ලබා ගැනීමට අපහසු වීම, කෑම අරුචිය ඇතිවිය හැකියි. 

මෙම මත්ද්‍රව්‍යය භාවිතයෙන් පොදුවේ ඉස්මතු වන ශාරීරික සහ හැසිරීම් වෙනස්කම් කීපයක් පවතිනවා. 

ක්‍රිස්ටල් මෙත්, එසේත් නැතිනම් අයිස් මත්ද්‍රව්‍ය විද්‍යාත්මක වශයෙන් Methamphetamine ලෙස නිෂ්පාදනය කොට ඇත්තේ 1893 වසරේදී බවට වාර්තා වේ. පසුව මේවා දෙවැනි ලෝක යුද සමයේ සෙබලුන්ගේ ක්‍රියාශීලීත්වය නංවන උත්තේජකයක් වශයෙන් භාවිත කර ඇති බවටද සඳහන්ය. මෙම මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් අධික ක්‍රියාශීලීත්වයක් ඇතිවේ. එමෙන්ම සතුට හා ආත්ම විශ්වාසය පමණ ඉක්මවා දැනෙන බවත් මේවා ශරීරගතවූවන්ගේ හැසිරීම පමණ ඉක්මවූ කලබලකාරී ගතියක් පෙන්නුම් කරන බවද සදහන්ය. නමුත් යථාර්තය නම් මේ සියලු සැප සහ මත්බව තාවකාලික බවයි. නමුත් සෙසු මත්ද්‍රව්‍යවලට වඩා අයිස් වලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවය අධික බව වාර්තා වේ. මෙසේ තාවකාලික වින්දනයක් ලබාදෙන මත්ද්‍රව්‍ය මායාව වෙනත් මත්ද්‍රව්‍යයන්ට වඩා මිනිස් සිරුරට දරුණු ලෙස හානි පමුණුවණ අතිශය භයානක දෙයකි.

දින දෙක තුනක් භාවිත කළ විට අයිස් වලට ඇබ්බැහි වීම ක්‍රම ක්‍රමයෙන් සිදුවේ. එමඟින් නින්ද අහිමි වීම, වමනය, හිසරදය, කෑම අරුචිය, මානසිකත්වය විකෘති වීම, සිරුරේ පටක විනාශය මෙන්ම හෘදයාබාධ වැළඳීමේ අවදානම පවතී. පටක විනාශ වීම හරහා සිරුර ක්ෂය වීම, මුඛය විකෘති වීම, දත් ගැලවී වැටීමේ සිට මොළයට හානිකර සිදුවීම් රැසක් සිදුවන මාරක මත්ද්‍රව්‍යයක් වශයෙන් අයිස් ප්‍රසිද්ධය. සෙසු මත්ද්‍රව්‍යවලට වඩා මෙමගින් සිදුවන සමාජ හානිය බරපතළය.

දරුණු ආබාධ රාශියකට මඟකියන අයිස් වල මත්ගතිය අධිකය. මේ හේතුවෙන් බොහෝ පිරිස් ඊට ඇබ්බැහිවේ. එහි මත් බව පැය 12ක් තරම් පවතින බවද සඳහන්ය. අයිස් බරපතළ ලෙස ව්‍යාප්ත වීමට හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ එය ක්‍රම කීපයකට භාවිත කිරීමට හැකි නිසා බව කියති. ඒ අනුව එන්නත් කිරීම, ගිලීම හෝ දුම් වශයෙන් භාවිත වන බව සඳහන්ය.

වාර්තා වන ආකාරයට ලොව පුරා මිලියන 27 කට අධික පිරිසක් අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී සිටිති. ඔවුනට මුහුණ දීමට සිදුව ඇත්තේ කායික හෝ මානසික වශයෙන් නැවත ගොඩ ඒමට නොහැකි භයානක තත්ත්වයකටය. ඔවුන්ට සිරුර පාවෙන බව දැනීම, තමාට අධික කාය බලයක් ඇතැයි දැනීම සහ මායාකාරී දර්ශන පෙනීම ආදිය මානසික වශයෙන් උදාවන ගැටලුය. එමෙන්ම මළබද්ධය, ශරීරය වෙව්ලීම, දත් හා ඇටකටු දිරායාම සහ අවයව විකෘති වීම කායික වශයෙන් සිදුවන බරපතළ හානි අතර වෙයි.

ලංකාවේදී අයිස් ග්‍රෑම් එකක් රුපියල් 10,000ක් හෝ ඊටත් වැඩි මිලකට අලෙවි කෙරේ. මෙරට ඇතැම් ධනවත් තරුණ තරුණියන්, රාත්‍රී සමාජ ශාලා, බීච් පාටි සහ රාත්‍රී සාදවලද, ඇතැම් ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතව ද, විවිධ නගරවල රහසේ අලෙවි කෙරෙන බවට වාර්තා වේ.

අයිස් මත්ද්‍රව්‍යයෙන් පවා ඕනෑම අයෙකුට නිෂ්ක්‍රමණය වීමේ (ඇබ්බැහියෙන් මිදීමේ) හැකියාව පවතිනවා. ඕනෑම මත්ද්‍රව්‍යයක් නිෂ්ක්‍රමණය කිරීමේ දී පොදුවේ ඇතිවිය හැකි එම මත්ද්‍රව්‍ය ශරීරයට අවශ්‍ය බව තදින් දැනීම, ප්‍රචණ්ඩකාරී බව, ශාරීරික වේදනා ඇතිවීම, අධික වෙහෙස හා විශාදය වැනි තත්ත්වයන් ඇති වීම වැනි පොදු සංකූලතාවලින් අනතුරුව ඉන් මිදීමේ හැකියාව පවතිනවා. නමුත් අයිස් නිෂ්ක්‍රමණ උග්‍රතාව විවිධාකාර පුද්ගලානුබද්ධ කරුණු කාරණා ගණනාවක් මත් වෙනස් වීමේ හැකියාවක් පවතිනවා. ඒවා අතර,

කොපමණ කාලයක් අයිස් භාවිතා කර තිබේ ද?කොපමණ ප්‍රමාණයක් භාවිතා කර තිබේ ද?අදාල පුද්ගලයාගේ ඇබ්බැහි වීමේ ස්වභාවය කෙබඳු ද? යන කරුණු ඉතා වැදගත්.

දීර්ඝකාලීනව අයිස් භාවිතා කර ඇති විට, එයින් නිෂ්ක්‍රමණයත් වඩාත් අපහසු යි. එමෙන්ම එහිදී තරුණයෙකුට වඩා උග්‍ර සංකූලතා වැඩිහිටියන් පෙන්නුම් කරන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. 

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්ක්‍රමණය ඉතා බැරෑරුම් ක්‍රියාවලියක්. මේ නිසා පළපුරුදු විශේෂඥ දැනුමක් ඇති පිරිසකගේ උපදෙස් සහ අධීක්ෂණය අනුව එය සිදුකිරීම යෝග්‍ය යි. මීට අමතරව මෙම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මානසික සෞඛ්‍ය දියුණු කරන භාවනා ක්‍රම, නිෂ්ක්‍රමණ කාල සීමාව තුළ සිත වෙනතකට යොමුවන පරිදි කාර්යබහුල වීම, සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට නැවත පෙළඹිය හැකි උත්තේජකයන්ගෙන් ඈත්ව සිටීමට කටයුතු කිරීම වැදගත්. මීට අමතරව වෛද්‍ය අධීක්ෂණය යටතේ දීර්ඝකාලීන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.

තරුණයා රටක ජීවනාලිය ලෙස රටේ ආර්ථික ශක්තියට උරදෙනු ලබන කණ්ඩායම යි. රටක තරුණ පරම්පරාවේ කඩාවැටීම රටේ ආර්ථිකය බිඳ වැටීමේ ප්‍රධානම සාධකයක් විය හැකියි. මත්ද්‍රව්‍ය භාවිතය සෑම විටකම රටක සමාජ ගැටළු ඇති කරමින්, රටේ සෞඛ්‍ය පද්ධතියට අමතර බරක් එක් කරන අතරේ භාවිතා කරන්නාගේ පුද්ගලික ජිවිතයේ ද මහත් ගැටළු ඇතිකරනවා. ඒ නිසා අපත් රැකෙන, රටත් රකින වගකිවයුතු පුද්ගලයෙකු වීම අප කාගේත් වගකීමක්.

ක්‍රිස්ටල් මෙත් ලොව භයානකම මත්ද්‍රව්‍යයක් වශයෙන් සැලකෙයි. මෙම මත්ද්‍රව්‍ය භාවිතය කෙටිකාලීන හා තාවකාලික වින්දනයක් බැවින් එහි අහිතකර පලවිපාක දිගුකාලීනව විදවීමට සිදුවන බැව් තරයේ මතකයේ තබාගත යුතු දෙයකි. ආර්ථික මෙන්ම සමාජීය පරිහාණිය ඇති කරන මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීම හා තරුණ පරපුර මේ ව්‍යසනය පිළිඹද දැනුවත් කිරීම බුද්ධිමත් ඔබගේ වගකීමය.

මෙම සටහනින් පෙන්වාදීමට අප වෑයම් කලේ අයිස් නම් මත්ද්‍රව්‍යයේ සැගවුණු තිත්ත ඇත්තයි. ඔබේ දරුවා මෙම උවදුරින් රැකගන්න. මත්ද්‍රව්‍යවලට එරෙහිව ඔබේ සමාජ වගකිම ඉටු කරන්න