ගාල්ලේ ජනප්‍රිය පාසලක සිසුවෙක් උසස් ප්‍රතිඵල වෙබ් අඩවිය හැක් කරලා

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2021 වසරේ උසස් පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල නිකුත් කරන ලද වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවිෂ්ට වී එම වෙබ් අඩවියේ සඳහන් අපේක්ෂකයන්ගේ තොරතුරු අනවසරයෙන් භාගත කර වෙනත් වෙබ් අඩවියකට ලබාගත් දකුණේ ජනප්‍රිය පාසලක සිසුන් කණ්ඩායමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.

උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂකයන් 360,000කගේ විභාග ප්‍රතිඵල මෙලෙස අනවසරයෙන් ලබාගෙන ඇති අතර මෙම කණ්ඩායම එම විභාග ප්‍රතිඵල වෙනස් කිරීමක යෙදුණේදැයි සොයා ගැනීම සඳහා මෙම විමර්ශනය පවත්වන බව වාර්තාවේ.

ඒ අනුව, කළ මූලික විමර්ශනයේදී විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්‍රවිෂ්ට වී මෙසේ විභාග අපේක්ෂකයන්ගේ දත්ත අනවසරයෙන් භාගත කළ ගාල්ලේ ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබිණි.

ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මොහු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබීය

විභාග කොමසාරිස් ධර්මසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් මත එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා විසින් මේ පිළිබඳ විමර්ශන පරිගණක අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත විමර්ශන ඇරඹීය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර සිසුවා වෙබ් අඩවියක් මගින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ තොරතුරු ප්‍රචාරය කර ඇති බව ද සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.

මොවුන් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට අයත් අපේක්ෂකයන් 360,000කගේ ප්‍රතිඵල පැය පහක කාලයක් තුළදී මෙසේ අනවසරයෙන් භාගත කරගෙන ඇති බව ද වාර්තාවේ

හැකින්, කෝඩිං සහ පෝග්‍රෑම් සම්බන්ධයෙන් දිගින් දිගට ම සාකච්ඡා කරමින් මෙලෙස අනවසරයෙන් කටයුතු කළ මොවුන් කණ්ඩායම උසස් පෙළ දක්ෂ පාසල් සිසුන් බව ත් විමර්ශන නිලධාරීහු සඳහන් කරති. මෙලෙස වෙබ් අඩවියකට ඇතුළු වී එහි දත්ත සොරාගැනීම ඉතා අසීරු කටයුත්තක් නමුත් සිසුන්ගේ දක්ෂකම නිසා ඔවුන් මෙසේ කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය මඟින් කරන ලද තාක්ෂණික විමර්ශනයකින් අනතුරුව දත්ත භාගත කර නැවත ප්‍රචාරය කළ 13 වසරේ පාසල් සිසුවා මූලික පරීක්ෂණවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමග තව ත් කිහි පදෙනෙකු සම්බන්ධ වී ඇති බව ත් මොහුගේ ප්‍රකාශය මත සෙසු සිසුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තාවේ.

මව්බිම

One thought on “ගාල්ලේ ජනප්‍රිය පාසලක සිසුවෙක් උසස් ප්‍රතිඵල වෙබ් අඩවිය හැක් කරලා

Leave a Reply