මව සහ අනියම් සැමියා එක්ව අවුරුදු 7ක දැරියක් වධ දී ඝාතනය කරලා

වයස අවුරුදු හතක දැරියකට කළ පහර දීමකින් පසු ඇය මියගොස් ඇතැයි සැකකර ඇයගේ සිරුර පොහොර කවරයක ඔතා දෙල්වල ගඟපහළ ප්‍රදේශයේ අත්හැර දැමූ පතල් වළකට දෑමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (07) පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි දෙල්වල පොලිසිය පවසයි.

මෙම අපරාධය සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගොඩ ගන්නා බවද දෙල්වල පොලිසිය පවසයි.

මැල්සිරිපුර ප්‍රදේශයේ පාසලක දෙවන වසරේ ඉගෙනුම ලැබූ දැරියක් එසේ මියගොස් ඇත.

එම ඝාතනයට සැකපිට කාන්තාවන් දෙදෙනෙකු දෙල්වල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරියන් අතර මියගිය දැරියගේ 29 හැවිරිදි මවත් තිස් හැවිරිදි ගැබිනි කාන්තාවකුත් සිටින බව දෙල්වල පොලිසිය පවසයි.

තවත් අඹුසැමි යුවළක් ද මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බව ද පොලිසිය පවසයි.

ප්‍රදේශයෙන් පළා ගොස් ඇති ප්‍රධාන සැකකරු බවට සැක කරන පුද්ගලයා දරුණු ගණයේ අපරාධ ගණනාවකට චෝදනා ලැබුවෙකු බවත් මේ වන විටත් එම චෝදනාවලට අධිකරණ ගණනාවක එම නඩු විභාගවෙමින් පවතින බව පොලිසිය පවසයි.

දැරිය මරා දමා වළ දැමුවා යැයි කියන ස්ථානයට මේ වනවිට පොලිස් ආරක්‍ෂාව යොදවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහා ම, 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියෙකුගේ යුතුකම ඉටු කරන්න.

Werzuo Digital

Leave a Reply