පියා සමග එක්වී සැමියාට පහරදී මරා දැමූ කතට සිරදඬුවම්

කොස්ගොඩ, වතුරවෙල ප්‍රදේශයේදී සිය පියා සමඟ එකතුව රැයක් මුළුල්ලේ පොලුවලින් පහරදී තම ස්වාමිපුරුෂයා ඝාතනය කිරීමට අදාළව වරද පිළිගත් මියගිය අයගේ බිරියට වසර 07ක ලිහිල් සිරදඬුවම් හා රුපියල් 10,000 දඩයක් මෙන්ම ඇයගේ පියාට වසර 10කට අත්හිටුවූ වසර දෙකක සිරදඬුවම් හා රුපියල් 10,000 දඩයක් බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පසුගිය (27) දා නියම කළේය.

දඩ හා සිරදඬුවම් නියම වූයේ මියගිය අයගේ 26 හැවිරිදි බිරිය සහ ඇයගේ පියා වන 58 හැවිරිදි අයයි.

අහුන්ගල්ල, කටුවිල ලිපිනයේ පදිංචිව සිටි එදිරිමුණි තිලිණ පෙරේරා කරුණාරත්න (25) නමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට දඩුවම් නියම විය. ඝාතනය කරන ලද අයගේ දේහය දඬුවම් නියම වූවන්ගේ නිවෙසේ පුටුවක් මත තිබියදී 2017 මැයි 30 වැනි දින උදෑසන කොස්ගොඩ පොලිසිය මඟින් සොයා ගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් දඩුවම් නියම වූ අනියම් පුරුෂයා යැයි කියන නානතොට, කොස්ගොඩ ලිපිනයේ පදිංචි 38 හැවිරිදි අයකු හා ඔහුගේ යහළුවකු වන 30 හැවිරිදි අයකුද කොස්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාග කර වැඩිදුර විභාගයට නඩුව මහාධිකරණයට තබන අවස්ථාවේදී ඔවුන්ට චෝදනා ගොනුකර නොතිබිණි. මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුව බළපිටිය මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හා සම්පත් ගමගේ මහතා ඉදිරියේ විභාගයට ගැනුණු අතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් කර 2018 මැයි 18 දින බළපිටිය මහාධිකරණයට යොමු කර තිබිණි. ඒ වන විට සැකකරුවන් සිවුදෙනා එක් අයකුට මුදල් රුපියල් 15,000 බැගින් හා එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප 02 බැගින් මුදාහැරීමටද පියවර ගෙන තිබිණි.

ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ කොස්ගොඩ පොලිසිය හා ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකය මියගිය අයට විශාල වශයෙන් පහරදී තිබෙන බවත් මියගිය අයගේ අතපය හා ශරීරයේ බොහෝ ස්ථාන ඉදිමී නිල් පැහැ ගැන්වී තිබූ බවත් තහවුරු කරගෙන තිබිණි. එයට අමතරව මියගිය අයගේ අත්පා ගැටගසා තිබූ බවට සලකුණුද පොලිසියට නිරීක්ෂණය වී තිබිණි. මියගිය අයගේ නළලේ විශාල ලේ ගලන තුවාලයක් සහ ශරීරය පුරාම සීරීම් තුවාල තිබූ බවත් රැය මුළුල්ලේම මොහුට පහරදී තිබෙන බවට අනුමාන කළ හැකි බවත් ජීව විද්‍යාත්මක සාක්ෂි අනුව ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකය තහවුරු කරගෙන තිබුණේය.

දඬුවම් නියම වූ තැනැත්තියට සහ ඝාතනයට ලක් වූ අයට දාව දියණියක්ද සිටී. දෙදෙනා අතර ඇතිව තිබෙන පවුල් ආරවුල් හේතුවෙන් බිරිය කොස්ගොඩ, වතුරවෙල පිහිටි සිය නිවෙසේත් ස්වාමියා අහුන්ගල්ල, කටුවිල පිහිටි නිවෙසේත් ජීවත්ව ඇත. සිද්ධිය වූ දින සිය දියණියගෙන් ලැබුණ දුරකථන ඇමැතුමකට අනුව මියගිය අය කොස්ගොඩ පිහිටි බිරියගේ නිවෙසට පැමිණ තිබෙන බවත් එහිදී ඇති වූ ආරවුලක් මත මියගිය අයට පහරදී තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

එවකට කොස්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක පී.එම්. ඉරාන් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් රංජන් (21930), මහෙස්ත්‍රාත් අධිකරණයේත්, පොලිස් සැරයන් ප්‍රියන්ත (59725) මහාධිකරණයේත් නඩු කටයුතු මෙහෙයවීය

මව්බිම

Werzuo Digital

Leave a Reply