ළමයින් ගැන ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන්න – කෝපා කමිටුව

දරුවන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට නිර්දේශ කළේය.

එම දෙපාර්තමේන්තුව ඒ සඳහා නිසි මඟ පෙන්වීම් කළ යුතු බවද රජයේ ගිණුම් කාරක සභාව පවසයි. තවද මෙම විෂය සම්බන්ධයෙන් පළාත් සභාවලට විෂමතාවයකින් තොරව මුදල් ලබා දීම සඳහා අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවද කෝපා කමිටුව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ

එසේම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී සෑම අධිකරණ කලාපයක් සඳහාම පරිවාස කාර්යාලයක් ස්ථාපනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස කාරක සභාව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ.

මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වාදී ඇත්තේ අණපනත් සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර ඇති බවත් ළමා හා යෞවන ආඥා පනත සම්බන්ධ නීති සංශෝධනය අවසන් අදියරේ පවතින බවත්ය.

දරුවන් සම්බන්ධයෙන් අදාළ වන්නා වු කුලවද්දා ගැනීමේ ආඥා පනත ඇතුළු නීති සහ අණ පනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන කොපා කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කර ඇත්තේ මෙම පනත් කාලීන අවශ්‍යතාවට අනුව කඩිනමින් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අන්තර්ජාලය භාවිතා කිරීමෙන් දරුවන් ගොදුරුවන අපචාර වලින් ඔවුන් මුදවාගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතු බව ද කාරක සභාව පෙන්වා දී ඇත

Werzuo Digital

Leave a Reply