වාහනවලින් ඉන්ධන ඇදිමේ උපකරණයට ඉහළ ඉල්ලුමක්

වාහනවල ඉන්ධන ටැංකිවලින් ඉන්ධන පිටතට ඇදිමේ උපකරණයකට මේ දිනවල වෙළඳ පොලේ හොඳ ඉල්ලුමක් තිබේ.

මෙම උපකරණය චිනයේ නිෂ්පාදිත එකක් වන අතර මෙතෙක් කලක් එය ඉතා අඩුවෙන් භාවිතා කරන ලද උපකරණයකි. අලුත්වැඩියා කිරිමට ගෙන එනු ලබන වාහනවල ඉන්ධන ටැංකිය පිරිසිදු කිරිම සඳහා ඉන්ධන පිටතට ඇදිමට භාවිතා කරනු ලබන මෙම උපකරණය මෙතෙක් කලක් භාවිතා කරනු ලැබුවේ ගරාජ් හිමියන් පමණක් වුවද දැන් සාමාන්‍ය ජනතාවද වැඩි වශයෙන් මෙම උපකරණය මිලදි ගන්නා බව වෙළඳසල් හිමියෝ පවසති.

පෝලිම්වල සිට ඉන්ධන ලබා ගන්නා සමහර වාහන හිමියන් පෝලිමෙන් ඉවතට ගොස් මෙම උපකරණය මගින් ඉන්ධන පිටතට ගෙන වෙනත් භාජනවලට පුරවා නැවත ඉන්ධන පෝලිමට එන බවද වෙළඳසල් හිමියෝ පවසති.

ඉතා සුළු මුදලකට අලෙවි වු විවිධ ප්‍රමාණයේ මෙම උපකරණ මේ වන විට රුපියල් 600ත් 1000ත් අතර මුදලකට අලෙවි වන බවද පාරිභෝගිකයින් පැවසීය..

මේ අතර කොතරම් ඉන්ධන නැව් ප්‍රමාණයක් මෙරටට පැමිණියද ඉන්ධන තොග ගබඩා කර ගැනීමේ ජාවාරම නතර වන තුරු ඉන්ධනහල් අසල පෝලිම්ද නතර නොවනු ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙරේදා (24) පැවසීය.

ඉන්ධන පෝලිම්වල සිටින සමහර පිරිස් ව්‍යාපාරයක් ලෙස ඉන්ධන ඒකරාශී කරමින් ඒවා වැඩි මිලට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම කීය. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයට වාර්තා වී ඇති තොරතුරු පොලිසියට ලබාදී ඇති බවද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට පෙරේදා (24දා) එක්වෙමින් ඔහු පැවසීය.

කෙතරම් නෞකා ප්‍රමාණයක් මෙරටට ගෙන්නුවද මෙවන් ජාවාරම් බැහැර නොවන්නේ නම් දිගින් දිගටම පෝලිම් ඇති වීම නොවැළැක්විය හැකි බවද හෙතෙම අවධාරණය කළේය. කෑන් සහ බූලිවලට ඉන්ධන ලබා දීම නතර කිරීමට මේ ජාවාරමද හේතු වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය

Werzuo Digital

Leave a Reply