දකුණු පළාතේ ගාල්ල, වැලිවත්තේ පිහිටි විජයානන්ද පුරාණ විහාරස්ථානය බෞද්ධ ජනතාවට අප්‍රකට ස්ථානයක් වුව එය මුළු රටේම ගෞරවයට, අභිමානයට වැඩදායක වූ විහාර බිමක් ලෙස දන්නේ ඉතාමත් සුළු පිරිසකි. ක්‍රි. ව. 1880 තරම් අතීතයකට හිමිකම් කියන විජයානන්ද පුරාණ විහාරස්ථානයට දිගු ඉතිහාසයක් ඇත. ඉපැරැණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිවී ඇති විහාරස්ථානයේ ගොඩනැගිලි ඊට සාක්ෂි සපයයි
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ප්‍රථම මූලස්ථානය ද මෙය වී තිබිණි. ශ්‍රි ලංකාවේ ආරම්භ කළ මුල්ම ඉරුදින දහම් පාසල මුලින්ම හැඳින්වූයේ විජයානන්ද පිරිවෙන හෙවත් “පාලි කොලේජ්” යන නමිනි. කපිලවස්තු පුරයෙන් හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා ද මෙම විහාර දාගැබෙහි තැන්පත් කර ඇත.චෛත්‍ය වටා පිඟන් ගඩොලින් නිමැ වූ ඉතා දර්ශනීය මලුවක් ද මෙහි දක්නට ලැබීම විශේෂය. අප කතා කරන්නට යන්නේ ශ්‍රි ලංකාවේ ප්‍රථමයෙන් ආරම්භ කරන ලද බෞද්ධ දහම් පාසල පිළිබඳවයි.
වසර 1880 මැයි 17 දින ගාල්ල වරායෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකන් ජාතික හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා සහ රුසියානු ජාතික හෙලේනා පෙම්රවනා බ්ලැවැට්‌ස්‌කි මහත්මිය 1880 මැයි 19 වැනිදා විජයානන්ද පුරාණ විහාරස්‌ථානයට පැමිණ තිසරණ සහිත පන්සිල් සමාදන්වී බෞද්ධයන් බවට පත්වීම තුළින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවිය. එහි ප්‍රථිපලයක් ලෙස ඕල්කට්‌තුමාගෙන් සිදුවූ විශිෂ්ටතම සේවාවක් වන්නේ බෞද්ධ දරුවන්ට දහම් අධ්‍යාපනයක් ලබාදීමට විහාරස්‌ථාන මූලික කරගෙන දහම් පාසල් ඇතිකිරීමය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ දහම් පාසල 1895 අගෝස්‌තු 03 වැනිදා එතුමා විසින් බෞද්ධාගම වැළඳගත් ගාල්ලේ විජයානන්ද විහාරස්‌ථානයේදී ආරම්භ කරනු ලැබිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල ආරම්භ කිරීම සඳහා ඕල්කට් තුමා හට අක්‌මීමන ධර්මාරාම හිමි, පයාගල සිරි සුමනතිස්‌ස හිමි, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ඇහැලේපොල ජාකොරොස් හිමි, අනගාරික ධර්මපාලතුමා ආදී ගිහි-පැවිදි ප්‍රභූන් රැසකගේ පුර්ණ සහාය හිමිවිය.
සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් බව බුදු රජාණන් වහන්සේ වඳාළේ සියලු පවින් වැළකිමටත් සියලු කුසල් දහම් වැඩිමටත්, සිත පිරිසිදු කර ගැනිමටත් ධර්මය පිළිපැදිමෙන් තොර වෙනත් මාර්ගයක් නොමැති බව වඳාළහ. බුදුරදුන් වදාළ ධර්මය දරුවන් අතට විධිමත් අධ්‍යාපනයක් යටතේ ලබාදිමට මුල් අදහස ඉදිරිපත් වුයේ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගෙනි. ඕල්කට්තුමාගේ උපදෙස් පරිදි බෞද්ධ පාසල් ක්‍රමයක් ඇරඹිම සාර්ථක ප්‍රතිකර්මයක් වුවද එය ප්‍රමාණවත් එකක් නොවුයේ උසස් ගණයේ පාසල් පිහිටුවිමට අවශ්‍ය අරමුදල් හා සම්පත් එකල බෞද්ධ ජනතාවට ඉතා සීමා සහිතව තිබු බැවිනි.
ඒ බැවින් බෞද්ධ දරුවන්ට ඉරිදා දිනවල, විහාරස්ථානවල දි භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් යටතේ ධර්ම අධ්‍යාපනයක් ලබාදිම අන්‍යාගමික බලපෑම් වලින් මිදිමට කදිම මාර්ගයක් බව දුටු ඕල්කට්තුමා සිය අනුගාමිකයින්ට මේ අදහස පළ කලේය. ඒ අනුව ගාල්ල බෞද්ධ විඥානාර්ථ සමිතියේ ලේකම් වූ, විජයානන්ද දායක සභාවේ සාමජික, ඕල්කට්තුමාගේ ප්‍රථම භාෂා පරිවර්තක වශයෙන් කටයුතු කල ධර්මසේන ජිනදාස සුබසිංහ මහතා 1889 වසරේ ප්‍රථම වරට විජයානන්ද නමින්ම දහම් පාසලක් ආරම්භ කලේය. පසුව එය වසර කිහිපයක් ඇවෑමෙන් අඩාල වු පසු ඇහලේපොළ ජිනෝරස ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සුබසිංහ මහතාගේ මඟ පෙන්විමෙන් විජයානන්ද නමින් සභාවක් පිහිටුවා වඩාත් සංවිධනාත්මකව 1895 අගෝස්තු 03 ඉරිදා දහම් පාසල නැවත ආරම්භ කරන ලදි. එය අද වනතුරුත් නොකඩවා පවත්වාගෙන යනු ලබයි.
රජය මඟින් ශ්‍රි ලංකාවේ ප්‍රථම දහම් පාසල ලෙස මෙය පිළිගනු ලැබු අතර සමස්ත ලංකා දහම් පාසල් දිනය ලෙසද අගෝස්තු මස 03 දින ප්‍රකාශයට පත් කොට ඇත.
වර්තමානයේ මෙම දහම් පාසලේ ඉගනුම ලබන මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 700 කට වැඩිය. පළමු ශ්‍රේණියේ සිට ධර්මාචාරය ශ්‍රේණිය දක්වා පන්ති පැවත්වෙයි. සමාන්තර පන්ති වශයෙන් 22 ක් පන්ති පවත්වාගෙන යනු ලැබෙයි හය වැනි ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල ඉංග්‍රිසි දැනුමක් ඇති දරුවන් සඳහා ඉංග්‍රිසි මාධ්‍යයෙන් පන්ති පවත්වාගෙන යනු ලබයි. එම පන්ති මුලික, කනිෂ්ඪ, ජේෂ්ඪ හා ඩිප්ලෝමා වශයෙන් බෙදා එම පන්ති පැවත්වේ. කොළඹ තරුණ බෞද්ධ සමිතිය මඟින් පළ කළ ඉංග්‍රිසි පෙළ පොත් මේ සඳහා භාවිතා කරන අතර එම සංගමය මඟින් පවත්වනු ලබන විභාග වලට වාර්ෂිකව දරුවන් ඉදිරිපත්වේ ඒ අනුව එහි දැනට සිසුන් 70 ක් පමණ ඉගනුම ලබයි. වර්තමාන ගුරු මණ්ඩලය 30 දෙනෙකු ගෙන් පමණ සමන්විත වේ.
මෙහි පවතින ඉපරැණි ගොඩනැලිල්ල සහ දාගැබ ඇතුළු ගොඩනැගිලි කිහිපයක් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සංරක්ෂණය කර ඇති අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතුද ඔවුන් විසින් සිදුකරනු ලබයි
මෙවැනි ඓතිහාසික හා සමාජ පසුබිමක් තුළ, ආරම්භ කරන ලද, දහම් පාසල් සේවාවෙන් මෙරට බෞද්ධ දූදරුවන්ගේ දහම් අධ්‍යාපනයට මං පෙත් විවර වීම හේතු කොට ගෙන, වැඩිකල් යන්නට මත්තෙන් ශ්‍රි ලංකාව පුරා දහම් පාසල් ඇරඹෙන්නට පටන් ගත්තේය. ඒ අනුව ශ්‍රි ලංකාවේ පිහිටා ඇති බෞද්ධ දහම් පාසල් සංඛ්‍යාව 8000 ක් පමණ වෙයි.
✍️ ෆර්හාන් නිසාම්දින්
විජයානන්ද විහාරයේ ඉපැරැණි දාගැබ
දහම් පාසලේ ඉපැරැණි ගොඩනැගිල්ල
විජයානන්ද විහාරයේ ඉපැරැණි දාගැබ