සිය බාල වයස්කාර දියණිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා තුනකට වරදකරු වූ පියකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා වසර 60 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ඊයේ (16) නියම කර තිබේ..
එක් අධි චෝදනාවකට වසර 20 බැගින් අධිචෝදනා තුනට වසර 60 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 20ක කාලයක් තුල සමගාමීව ගෙඩියා යා යුතු බව ද නියම කළේය
මීට අමතරව අධි චෝදනාවට රුපියල් 25,000 බැගින් අධිචෝදනා තුනට රුපියල් 75,000 ක මුදලක් ද නියම කර ඇති අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් ඉහත දඬුවම් කාලයට අමතරව තවත් මාස 18 ක සිර දඬුවමක් නියම කර තිබේ..
එමෙන්ම අගතියට පත්වූ චූදිත පුද්ගලයාගේ බාලවයස්කාර දියණියට රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 24 ක සිර දඬුවම් ද නියම කළේය
මෙලෙස සිර දඬුවම් නියම වූයේ කතරගම ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරු පියෙකුටය..
චූදිත පුද්ගලයාගේ බිරිඳ මෙම සිදුවීම සිදුවීමට වසර කිහිපයකට පෙර පවුල් ආරවුලක් හේතුවෙන් චුදිත පුද්ගලයාගෙන් වෙන්ව අවිස්සාවේල්ල ප්‍රදේශයේ වෙනත් පුරුෂයකු සමඟ ජීවත් වී ඇති බවත් චූදිත පුද්ගලයා හා දරුවන් දෙදෙනා පමණක් ඔහු සමඟ නිවසේ ජීවත්ව ඇති ඇති බවත් අධිකරණයේදී අනාවරණය වී තිබේ..
චූදිත පුද්ගලයා විසින් මීට වසර හයකට පමණ පෙර සිය බාල වයස්කාර දැරිය අවස්ථා ගණනාවක දී බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවත් ඇය පියාගේ හිරිහැර ඉවසා ගත නොහැකිව සිද්ධිය පිළිබඳව ඇය ඉගෙනුම ලැබූ පාසලේ ගුරුවරියට පවසා ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.
පසුව මෙම සිද්ධිය පිළිබඳ වින්දිත දැරියගේ වැඩිමල් සහෝදරයාට සහ මිත්තණියට දැනුම් දීමෙන් අනතුරුව කතරගම පොලිසියට පැමිණිලි කර තිබේ
ඒ අනුව කතරගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව පැවති මූලික නඩු විභාගෙන් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අධි චෝදනා තුනක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණ
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ගෙවිඳු සෙනවිරත්න මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර කතරගම පොලිසිය වෙනුවෙන් පොලිස් කොස්තාපල් දේශප්‍රිය මහතා පෙනී සිටියේය
(අද ජාතික පුවත්පතින්)