මෙරට යළිත් මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් හටගෙන ඇති බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය ප්‍රකාශ කර ඇත.
අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් හරහා මෙලෙස මැලේරියාව ව්‍යාප්ත වීමේ අවදානමක් හටගෙන ඇති බව එම ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වාර්ෂිකව ලොවපුරා මිලියන 200 ට වැඩි පුද්ගලයන් පිරිසකට මැලේරියාව වැළඳේ. ඒ අනුව මැලේරියාව හේතුවෙන් වසරකට මිලියන භාගයක් පමණ මියයන බව විදෙස් වාර්තාවල සඳහන්වේ.
ප්ලස්මොඩියම් ෆැල්සිපරම් (Plasmodium falciparum) යනුවෙන් හඳුන්වන මෙම මාරාන්තික පරපෝශිතයාගේ වාහකයා වන්නේ ඇනෝෆිලිස් (Anopheles) මදුරුවාගේ ගැහැණු සතාවේ.
මෙරට මැලේරියා රෝගය 1911 වර්ෂයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ප්‍රථමයෙන් වාර්තා විය. මුල්ම මැලේරියා මර්දන ඒකකය කුරුණෑගල පිහිටුවා ඇත. 1935 වර්ෂයේදී, 1970 හා 1986 වර්ෂවලදී මෙම රෝගය මෙරට දරුණුම වසංගත තත්ත්ව ඇති කරනු ලැබීය. මෙරට ජනගහනයෙන් 80% ක්ම ආසාදිතයන් බවට පත්කරමින් 1935 වර්ෂයේ දරුණුවට පැතිරිණ. එවක 80,000ක් පමණ මැලේරියාව නිසා මිය ගියේය. මෙරට ඉතිහාසයේ පළමුවරට උපත් අනුපාතයට වඩා මරණ අනුපාතය ඉහළ ගියේ මෙම වර්ෂයේදීය.
මැලේරියාව පිළිබඳ අවධානය ගිලිහී ගිය නිසාම නැවත 1970 වනවිට රෝගය හිස එසවූ අතර, ජනගහනයෙන් ලක්ෂ 6ක් පමණ රෝගී විය. 1986-87 වර්ෂය වනවිට යළි හිස ඔසවන්නට විය. වසර සියයකට පසු 2011 වර්ෂයේ මෙරට අවසන් මැලේරියා රෝගියා මුලතිව් යුද හමුදා කඳවුරකින් හමු විය. ඉන්පසු වසර තුනක කාලයක් පුරා එකදු රෝගියෙකු රට තුළින් සොයාගන්නට නොහැකි විය. ඒ නිසාම ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කරන ලද රටක් බවට පත්විය. නමුත් විදේශිකයන් හා මෙරටින් විදේශ සංචාරවලට ගිය අය මැලේරියා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඔවුන්ව විධිමත් ලෙස කළමනාකරණය කර ගැනීමට හැකි විය.
2021 වර්ෂයේ අප්‍රේල් 23 දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 07 දෙනෙකු සොයාගෙන ඇත. 2020 වසරේදී විදේශයන්හිදී මැලේරියාව ආසාදනය වූ රෝගීන් 30දෙනෙකු හමුවී ඇති අතර, ඉන් බහුතරයක් (22ක්) අප්‍රිකානු කලාපයේ රටවල සිට ආපසු පැමිණි අයයි.
මේ අතර පසුගියදා නයිජීරියාවේ සිට පැමිණ පුද්ගලයකුට මැලේරියා උණ රෝගය බෝවී ඇති බව උඩුගම රෝහලෙන් වාර්තා විය.