ඉතියෝපියාවේ සරණාගත කඳවුරකට එල්ලවු ගුවන් ප්‍රහාරයකින් විශාල පිරිසක් මරුට

ඉතියෝපියාවේ ටයිග්‍රේ පළාතේ පිහිටි අවතැන්වූවන් රැඳී සිටි සරණාගත කඳවුරක ට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් කුඩා ළමයින් ඇතුළු 56 දෙනකු මිය ගොස් ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තා කළේය 

මෙම ප්‍රහාරයෙන් 30 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව සහන සේවකයන් උපුටා දක්වමින් වාර්තා සදහන් කළේය.
මෙම ප්‍රහාරයෙන් තිදෙනකු මිය ගිය බවට ඊයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළ අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර තිබේ. නමුත් අද එරට සහන සේවකයන් උපුටා දක්වමින් මෙම ගුවන් ප්‍රහාරයෙන් 56 දෙනෙකු මිය ගොස් ඇති බවත් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව රෝහල් බලධාරීන් උපුටා දක්වමින් දක්වමින් නවතම වාර්තා සඳහන් කළේය.. 
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය  ඉතියෝපියානු රජයෙන් සහ හමුදාවෙන් විමසීමක් කළත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව ද එම වාර්තා සඳහන් කළේය. 
වසර 2020 නොවැම්බරයේ සිට එරිත්‍රියාවට මායිම්ව පිහිටි ඉතියෝපියාවේ ටිග්‍රේ පළාතේ හටගත් සිවිල් යුද්ධය මෙතෙක් නිමාවට පත් වී නොමැති අවස්ථාවක මෙය සිදුව තිබේ. 
මෙම අර්බුදය නැගෙනහිර අප්‍රිකාවේ දැඩි මානුෂික අර්බුදයකට තුඩු දී ඇති අතර, කලාපය තුළ යුද උණුසුමක් ද පැතිර යමින් තිබේ. ඉතියෝපියාවේ හමුදාව සහ ටයිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ අතර පවතින ගැටුමෙන් මේ දක්වා මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව තවමත් තක්සේරු කර නැත.තවත් මිලියන ගණනකට තම නිවාසවලින් ඉවත්වීමට පවා සිදු වී ඇත. එවැනි පසුබිමකදී දරුණු සාගත තත්ත්වයක් ද උදා වී ඇතැයි විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණි.
නිල නිවේදනවලට අනුව මේ වනවිට ටයිග්‍රේ කලාපයේ ගැටුම්වලින් මිය ගිය එම ගෝත්‍රිකයන්ගේ සංඛ්‍යාව 550කි. සිවිල් පුද්ගලයන් 650 දෙනකු ද ජීවිතක්ෂයට පත් වී ඇත. එහෙත් ඇතැම් නිල නොවන වාර්තා අනුව මේ සංඛ්‍යාව දස දහස් ගණනකින් ඉක්මවයි.
ඉතියෝපියාවේ මුළු ජනගහනයෙන් 6%ක් වන ටයිග්‍රේ වැසියන් ජනවාර්ගික අර්බුදයක් කරා තල්ලු වූයේ ඔවුන්ගේ දේශපාලනික පක්ෂය වන ටයිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ එරට අගමැති අබී අහමඩ් සමඟ ඇතිකරගත් ගැටුමකි. පසුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉතියෝපියාවේ මහ මැතිවරණය දින නියමයකින් තොරව කල් දැමීමත් මේ තත්ත්වය වර්ධනය වීමට බලපෑවේය. ගැටුම් ආරම්භ වූයේ ටයිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ ඉතියෝපියාවේ ජාතික ආරක්ෂක බළකා උතුරු අණදෙන මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟය. මේ ප්‍රහාරයේදී අසල්වාසි එරිත්‍රියාවට ද රොකට් ප්‍රහාරයක් එල්ල වී තිබිණි. නැගෙනහිර අප්‍රිකානු කලාපයේ යුද ගැටුම් තත්ත්වය උද්ගත වූයේ ඒ අයුරිනි
Werzuo Digital

Leave a Reply