වැඩි පරිස්සමට වන්දනාවේ ගෙන ගිය රන් බඩු සහ මුදල් පූජා භූමියේ දී සොරකම් කරලා

 


වැඩි ආරක්ෂාව සඳහා රත්‍රං හා මුදල් තම නිවසේ නොතබා අනුරාධපුර වන්දනාවේ යන විට රැගෙන ගිය ගාල්ල බටපොල යුවළකගේ රුපියල් ලක්ෂ 14කට වැඩි මුදල් හා රන් භාණ්ඩ පෙරේදා (29) සොරකම් කළ අයකු අත් අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බාරයක් වීමට ගාල්ල බටපොල ප්‍රදේශයේ සිට අනුරාධපුරයට මෝටර් රථයකින් පැමිණි යුවලකගේ මුදල් හා රන් භාණ්ඩ රුවන්වැලි සෑය අසල රථ ගාලේදී මෙසේ සොරකම් කර ඇතැයි පොලිසිය පවසයි.

වන්දනාවේ පැමිණෙන විට වැඩි ආරක්ෂාව සඳහා නිවසේ නොතබා රත්තරන් හා මුදල් අඩංගු බෑගය මෝටර් රථයේ පිටුපස අසුනේ තබා වන්දනා කිරීමට ගොස් ඇති බවත් පැය දෙකකට පමණ පසුව එම යුවළ යළි මෝටර් රථයට පැමිණ විට එම මුදල් හා රන් භාණ්ඩ අඩංගු අත්බෑගය කිසියම් අයකු විසින් සොරා ගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.

පැමිණිලිකරුට අමතක වී මෝටර් රථයේ ඉදිරිපස දොරේ වීදුරු අඩක් පමණ වසා රුවන්වැලි සෑය වන්දනා කිරීමට ගොස් ඇති බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසයි.

එම රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයා අත් අඩංගුවට ගැනිම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

දිවයින 

Werzuo Digital

Leave a Reply