ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පියානෝ තුනක් අතුරුදන්විම ගැන විමර්ශනයක් කරන්න CID ට නියෝග

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තිබූ විදේශයෙන් ගෙන්වන ලද වාදනය කිරීමට ගන්නා අධික වටිනාකමකින් යුත් පෞරාණික ගණයේ පියානෝ තුනක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (17දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.

බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා විසින් පසුගිය 2021 ජූලි මස 01 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවැසීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නීති නිලධාරිවරියගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

සිදුකරන ලද විමර්ශන අනුව 1982 අංක 12 දරන පොදු දේපළ පනත ප්‍රකාරව වන වරදක් සිදු වී ඇති බවට අනාවරණය වන බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවැසීය.

මව්බිම 

Werzuo Digital

Leave a Reply