කොරෝනා සමයේ මියගිය මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීමෙන් අසාධාරණයට ලක්වූ පවුල්වලට වන්දි ගෙවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාත්තන්කුඩි ප්‍රදේශයේදී පැවසීය.
මුස්ලිම්වරුන් ආදාහනය කිරීමට රජයට නිර්දේශ කළ පාර්ශ්ව සතු වගවීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
දේහයන් ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජනතාව මුහුණ දුන් අසීරුතාව පිළිබඳ කණගාටුවට පත්වන බව කී හෙතෙම පුද්ගල කැමැත්ත මත භූමදානය හෝ ආදාහනය කිරිමට හැකි වන අයුරින් නව නීතියක් ගෙන එන බව ප්‍රකාශ කළේ ය.
කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය දා පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජන රැලිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ය.
රටක් ලෙස ඉදිරියට යෑමේදී ජාතිවාදය සහ ආගම්වාදය අවශ්‍ය නොවන බව කී ජනාධිපතිවරයා සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවද සියලු දෙනා එක්ව රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට කැපවිය යුතු බව ද අවධාරණය කළේ ය.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජන රැලියක් එදින පස්වරුවේ සමන්තුරේදී පැවති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සිදුකර ඇති ප්‍රකාශයකට ජනාධිපතිවරයා එහිදී පිළිතුරු ලබා දුන්නේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හොඳ නමුත් ඔහු වටේ සිටින පිරිස හොඳ නැතැයි රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙන බව ත් මෙවර පැවැත්වන්නේ, ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නොවන බව ත් හෙතෙම පැවසීය.
වටේ සිටි පිරිස තෝරා ගන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකදී බැවින් තමන් හොඳ නම් මෙවර ජනාධිපතිවරණයේදී තමාට සහාය ලබා දෙන ලෙස රිෂාඩ් බුදුර්දීන් මන්ත්‍රීවරයා සමග සිටින පිරිසට මෙන් ම මුස්ලිම් කොංග්‍රසයට කියා සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.
රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම බඩු මිල අඩු කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කළද කිසිදු අවස්ථාවක මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ ගැටලුව කතා කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටි බවත්, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළේ තමන් ප්රමුඛ රජය විසින් බවත් වික්‍රමසිංහ මහතා කීවේය.
මව්බිම