රූමස්සල මුහුද අයිනේ අරුම පුදුම මිරිදිය ඖෂධ පීල්ල (Video)

සාමන්‍යයෙන් අප දන්නේ ශ්‍රි ලංකාවේ රට අභ්‍යන්තරයේ වු විශාල වන රුක් ගොමු තුලින් ගලා බසින දිය දහරාවන්ය නැතහොත් දිය ඇලිය. එහෙත් මුහුද ආසන්නයේ කඳු වැටියකින් මුහුදට ගලා බසින ස්වාභාවික මිරිදිය දිය පීල්ලක් ගාල්ල රූමස්සල කන්දේ පිහිටා ඇත.

රූමස්‌සල කන්ද නිර්මාණය වූණේ හිමාලයේ කන්දේ කොටසකින් කියලයි ජනප්‍රවාදයේ පවතින්නේ. ඒ රාවණා-රාම යුද්ධයේදී තුවාල ලැබූ රාමගේ සොයුරු ලක්‌ෂ්මණට ප්‍රතිකාර කරන්නට හනුමන්තා විසින් රැගෙන ආ බෙහෙත් පැළෑටි සහිත හිමාලයේ කොටසක්‌ වැටීමෙන් රිටිගල සහ රූමස්‌සල කන්ද නිර්මාණය වුණු බව එහි සඳහන්ය..
රූමස්සල කන්දේ දකුණු මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි “ඖෂධ පීල්ල” යනුවෙන් හඳුන්වන මෙම දිය පීල්ල රූමස්සල ප්‍රදේශයේ ඇති පාරිසරික විවිධත්වය කියාපන සාධකයකි.

ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයක් වන මෙම දිය පීල්ල කඳු මුදුන මැදින් පිහිටි අක්කර 07 ක් පමණ විශාල කුඹුරු ප්‍රදේශයකින් ආරම්භවි ඖෂධ ශාක අතරින් අවසානයේ විශාල ප්‍රමාණයේ වැටකෙයියා ගස් අතරින් මුහුදට ගලා බසින්නේ පිරිසිදු භුගත ජල ප්‍රවාහයක් ලෙසිනි එකල ගාලු වරායට පැමිණි නැව්වලට පානීය ජලය සපයා දී ඇත්තේත් රූමස්‌සල පිහිටි මෙම ස්වාභාවික දියපාර සහ එහි පිහිටි ළිං මඟින් බවටද සදහන්ය.
මේ අතර මෙම ස්වාභාවික දිය පීල්ල රූමස්සල ප්‍රදේශවාසීන් ඇතුළු බෝහෝ දෙනෙකු හඳුන්වනුයේ “ඖෂධ පීල්ල” නමිනි එයට හේතුව වනුයේ මෙම දිය පීල්ල ස්වාභාවික උල්පතකින් මතුව ඔසු පැළ පිහිටි රූමස්සල කඳු මුදුන මතින් පහළට ගලා ගෙන ඒමෙදි එම ඔසු පැළවල මුල් හේදිගෙන පැමිණෙන නිසා එම ජලයට ලෙඩ රෝග සුව කිරිමේ බලයක් ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. අතීතයේ මෙම දිය පීල්ලට ලෙඩ රෝග සුව කිරිමේ බලයක් තිබු බව ජනප්‍රවාදයක් පවතින බව එහි සිටින වැඩිහිටි ප්‍රදේශවාසින් සඳහන් කර සිටියේය.

ශ්‍රි ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන මෙම භුමි භාගය හරහා ගලා බසින දිය දහර මුහුදු වෙරළේ සිට මිටර 5 ක් පමණ මෙපිටින් මුහුදු මට්ටමේ සිට මිටර 3 ක් පමණ උසකදි ගල් කුළුවලින් වටවු ස්වාභාවික පොකුණක් නිර්මාණය කර පසුව ගල් අතරින් මුහුදට ගලා බසි. වැසි දිනවලදි ඉතා විශාල ජල දහරාවක් මෙම පීල්ලේ දක්නට ලැබේ.

අද වන විට දෙස් විදෙස් සංචාරකයින් නිසා මෙම ස්වාභාවික දිය පීල්ල විනාශ විමේ අවදානමක් මතුවි ඇත. පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් විසින් රැගෙන එන මත්පැන් බෝතල්, ප්ලාස්ටික් බෝතල්, ෂොපින් බෑග් ඇතුළු විවිධවු අපද්‍රව්‍ය මෙම දිය පීල්ල අසල දමා යෑම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය මතුව ඇත.
ඖෂධ පීල්ල අසල තැන තැන දමා ඇති අපද්‍රව්‍ය 

එහි ගිය විට දක්නට ලැබුනේ දිය පීල්ල අසල තැන තැන දමා ගොස් තිබු පොලීතින්, හිස් මත්පැන් බෝතල් හා ටින්, ප්ලාස්ටික් බෝතල් ඇතුළු අපද්‍රව්‍ය ගොඩකි. මේ මඟින් මෙම දිය පීල්ල පැවත්මට දැඩි තර්ජනයකට ලක්වි ඇත


පානීය ජලය සම්බන්ධයෙන් අනාගතයේ මුහුණ පැමට සිදුවන අර්බුද හමුවේ මෙම දුර්ලභවු ස්වාභාවික දිය පීල්ල පරිසර දුෂකයින්ගේන් රැක ගැනිමට වගකිවයුතු බලධාරින් කටයුතු කල යුතු බව ඉල්ලා සිටින රූමස්සල ප්‍රදේවාසින් එය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කල යුතු බව සඳහන් කර සිටියේය..
✍️ ෆර්හාන් නිසාම්දින් 

Leave a Reply