පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතය ලබන වසරේ සිට

2023 වසරේ සිට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ලෙස භාවිතයට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති “English is Simple” ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව 6 ශ්‍රේණියේ සිට ඉහළට ගණිතය සහ විද්‍යාව විෂයයන් දෙක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද ඉගැන්වීමට යෝජනා වී ඇති බව ද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

අමාත්‍යවරයා පවසා ඇත්තේ, එම විෂයයන්වල බොහෝ තාක්ෂණික පද ඉංග්‍රීසි භාෂාවට අදාළව ඇති බැවින් එතරම් අපහසුවකින් තොරව දරුවන්ට ඊට හුරු විය හැකි බැවින් අසාධාරණයක් සිදු නොවන බව ය.

ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පසුබෑමට එක් හේතුවක් වී ඇති විද්‍යා, ගණිත හා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ හිඟය මගහරවා ඉංග්‍රීසි භාෂා නිපුණතාව ලබා දීමට වෙන ම වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වන අතර විශ්වවිද්‍යාල පද්ධතියත් අධ්‍යාපනඥ සේවයත් ගුරු උපදේශකවරුනුත් ඊට සහභාගිත්වය දක්වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊ- තක්සලාව වෙබ් අඩවියට පිවිසීමෙන් රටේ සියලු ම දරුවන්ට මෙම ඉංග්‍රීසි භාෂා දැනුම ලද හැකි ය.

Leave a Reply