පියයුරු පිළිකාවෙන් මෙරට වසරකට 1000කට වැඩි පිරිසක් මරුට

වසරකට මෙරට කාන්තාවන් 1,095ක් පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්වන බවත් වසරකට මෙරට කාන්තාවන් 5,475 දෙනෙකු පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය පවසයි.

ලෝක කාන්තා දිනය වෙනුවෙන් අද (07) මහනුවර පැවති උත්සවයකට සහභාගී වූ ඉන්දිරා ජයසූරිය පිළිකා භාරයේ සභාපතිනි, වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය මේ බව හෙළි කළාය.

“මෙරට ජීවත් වන සෑම කාන්තාවන් 08 දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම තිබෙනවා. ඉතාමත් කනගාටුයි. මේ පියයුරු පිළිකා හේතුවෙන් අප රටේ කාන්තාවන් තිදෙනෙක් දිනකට මරණයට පත්වෙනවා. ඒ වගේම අප රටේ තවත් කාන්තාවන් 15  දෙනෙක් පියයුරු පිළිකා රෝගීන් වශයෙන් දිනකට හඳුනාගන්නවා.

කාන්තාවක් වී ඉපදීමම පියයුරු පිළිකා අවදානමට ලක්වීමක්. ඇල්කොහොල්, දුම් පානය, මත්ද්‍රව්‍ය භාවිතය, ව්‍යායාම මදකම, වැරදි ආහාර පුරුදු වගේම ලේ ඥාතීන් ට පියයුරු පිළිකා තිබීමද මේ පිළිකා තත්ත්වය ඇතිවීමට හේතු වෙන්න පුළුවන්.

හැබැයි මේ වනවිට වෛද්‍ය  පර්යේෂණ මගින් තහවුරු කොට තිබෙනවා. මව් කිරි ලබාදුන් කාන්තාවන් ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අවමයි කියලා.”

කාන්තාවන්ට පමණක් නොව පුරුෂයන්ටද පියයුරු පිළිකා වැළඳෙන බවත් පියයුරු පිළිකා වැළදෙන අයගෙන් 1%ක් පමණ පුරුෂයන් බවත් හඳුනාගෙන තිබෙන බව ඇය තවදුරටත් ප්‍රකාශ කළේය.

Werzuo Digital

Leave a Reply