මේ වසරේ දී රථ වාහනය ආනයනයට ඉඩක් නැහැ

පවතින ආර්ථික වටපිටාව තුළ මෙම වසරේ දී රථ වාහන ආනයනයට අවස්ථාව ලබා දිය නොහැකි බව වැඩ බලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විද්වත් වෘත්තිකයන් පිරිසක් සමග ඊයේ (19) පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි. සාකච්ඡාව ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 

2023 වසර අග දී ළගා වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන -3% ආර්ථික වර්ධන වේගය අභිබවා යාමට ශ්‍රී ලංකාව සමත් වනු ඇතැයි රජය විශ්වාස කරන බවද ඔහු සදහන් කළේය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උද්ධමනය සහ පොලී අනුපාතයන් ද අපේක්ෂිත කාලයට පෙර පහත දැමීමට රජයේ වත්මන් මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය සමත් වූ බවයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත් 17 වැනි අවස්ථාවේ එම ඉලක්ක සපුරා ලමින් සාර්ථක අවසානයක් කරා ළගා වීමට ශ්‍රී ලංකාව සමත් වනු ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ යළි එවැනි සහයක් ඉල්ලා නොසිටින මට්ටමේ මූල්‍ය කළමනාකාරීත්වයක් පවත්වාගෙන යාමට ද ශ්‍රී ලංකාව සූදානම් බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීම පිළිබඳ සුබවාදී ගමනක යමින් රජය උපරිම කැපවීමක් පෙන්නුම් කරන බව අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ ය. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය. මෙරට බැංකු පද්ධතියට සහ ආර්ථික කළමනාකාරීත්වයට ඉන් ඇති විය හැකි බලපෑම සලකා බලමින් එය සිදු කළ යුතු ආකාරය සොයා බලන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ද මෙහි දී අදහස් පළ විය. අමාත්‍යවරයා සඳහන් කළේ එය හුදු පෞද්ගලිකකරණය කිරීමක් නොවන බවයි. ජාත්‍යන්තර මට්ටමේ නිර්ණායකයන් සලකා බලමින් ඒ ඒ ආයතනවල ක්‍රියාකාරීත්වය අනුව ලොව පිළිගත් ක්‍රමවේදයන් යටතේ අදාළ ප්‍රතිව්‍යුහගතකරණය සිදු කිරීමට කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේ ය. කෙසේ  වෙතත් ‘රජය ව්‍යාපාර නොකළ යුතු ය‘ යන ස්ථාවරයේ රජය සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඒ වෙනුවට ආයතන නියාමනය කිරීමේ කාර්යයට පමණක් රජය උරදෙන බවයි.   

ආනයන සීමා ඉවත් කිරීම පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් අමාත්‍යවරයා මෙහි දී ඉදිරිපත් කළේ ය. ඔහු කියා සිටියේ සීමා ඉවත් කරනු ලබන භාණ්ඩ මගින් මෙරට ආර්ථික වර්ධනයට ඇති කළ හැකි බලපෑම මෙහි දී සලකා බලන බවයි. 

දැනට HS කේත අංක 920ක ආනයනයන් තහනම් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඉන් 300ක් පමණ රථ වාහන ආයනයන්ට අදාළ බවයි. පවතින ආර්ථික වටපිටාව තුළ මෙම වසරේ දී රථ වාහන ආනයනයට අවස්ථාව ලබා දිය නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය. සේමසිංහ මහතා පෙන්වා දුන්නේ නිසි අධ්‍යනයකින් තොරව හදිස්සියේ ගනු ලබන වැරදි ආර්ථික තීන්දු තීරණය යළිත් ශ්‍රී ලංකාව පෙර පැවැති අර්බුදකාරී තත්ත්වයක් කරා ගමන් කරවනු ඇති බවයි.

Werzuo Digital

Leave a Reply