ශ්‍රී ලංකා මුහුද පිහිටා ඇත්තේ ලොව ප්‍රධාන නාවික ගමනාගමන මාර්ගයක කේන්ද්‍රස්ථානයේයි.
ලොව විශාලතම නාවික ගමනාගමන මාර්ගයක් වන නැගෙනහිර හා බටහිර නාවික මාර්ගය වැටී ඇත්තේ දෙවුන්දරට නාවික සැතපුම් 12 ක් තරම් සමීපයෙනි.
දළ වශයෙන් මේ නාවික මාර්ගයේ අපේ රටට සමීපව වෙළෙඳ නෞකා පමණක් වර්ෂයකට හතලිස් දහසකට අධික ප්‍රමාණයක් යාත්‍රා කරනු ලබයි.
ජාත්‍යන්තර සමුද්‍රිය සංවිධානය හෙවත් IMO මේ වනවිට මෙම නාවික ගමනාගමන මාර්ගය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඈත් කළ යුතු බවට යෝජනා කර තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේ ඔවුන් ඉදිරිපත් කළ වාර්තාවකින් යෝජනා කර ඇත්තේ දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 15කින් ඔබ්බට මෙම ගමන් මාර්ගය ස්ථාපිත කළ යුතු බවයි.
ජාත්‍යන්තර සමුද්‍රීය පාරිසරික සංවිධාන කිහිපයක් එක්ව 2012 වසරේ සිදුකළ අධ්‍යයනයක් මත පදනම්ව ඔවුන් මේ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
IMO පෙන්වා දෙන්නේ මෙම කලාපයේ වදවීමේ තර්ජනයට මුහුණදී ඇති නිල් තල් මසුන් බහුලව ගැවසෙන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය කර ඇති බවයි.
ඔවුන් විශාල නෞකාවල ගැටීමෙන් මිය යන බැවින් නාවික ගමනා ගමන මාර්ගය තවදුරටත් දුරින් ස්ථාපිත කළ යුතු බව පරිසර සංවිධාන ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයට යෝජනා කර තිබේ.
අධ්‍යයනයට පාදක කර ගත් 2012 වසරේ එලෙස මියගොස් ඇති නිල් තල් මසුන් තිදෙනෙකි. .
කොළඹ වරාය ආශ්‍රිත මුහුදේ සහ දකුණු මුහුදේ මෙම තල්මසුන් මියගොස් සිටි බවට ද කරුණු ඉදිරිපත් කර තිබේ.
ඔවුන් IMO වෙත යෝජනා කර ඇත්තේ කුඩා ධීවර යාත්‍රා නෞකාවල ගැටෙන බැවින් ද නාවික මාර්ගය ඈත් කළ යුතු බවයි.
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට සිදු වුවහොත් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 15 කින් මෙම ගමන් මාර්ගය නැවත සකස්වනු ඇති.
කොළඹ වරායේ සිට නාවික සැතපුම් 76 ක් දක්වාත් ගාලු වරායේ සිට නාවිත සැතපුම් 21.6 ක් දක්වාත් හම්බන්තොට වරායේ සිට ප්‍රමාණය නාවික සැතපුම් 26.9 ක් දක්වාත් නව ජාත්‍යන්තර නාවික මාර්ගය දුරස් වනු ඇති.
මේ සම්බන්ධයෙන් පසුගිය දිනක විදේශ කටයුතු අමාත්‍යාංශය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් නාරා ආයතනය ඇතුළු සංවිධාන කිහිපයක් සාකච්ඡාවක් පවත්වා තිබේ.
නාරා ආයතනය ප්‍රකාශ කෙළ්, එහිදී මෙම යෝජනාවට තම ආයතනය එකඟ නොවන බවට ප්‍රකාශ කළ බවයි.
ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ජාත්‍යන්තර නෞක ගමනා ගමන් මාර්ගය නාවික සැතපුම් 15 ක් දිවයිනෙන් බැහැරට ගෙන ගිය හොත් එය හම්බන්තොට, ගාල්ල සහ කොළඹ වරායට දැඩි බලපෑමක් සිදුවිය හැකි බව නාරා ආයතනයේ මතයවී තිබේ.
කෙසේ වෙතත් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය හෙවත් IMO වෙත මේ සම්බන්ධයෙන් අපේ රටේ ප්‍රතිචාරය දැනුම්දිය යුතු අතර ඒ සඳහා ජුලි මාසයේදී මෙරට නියෝජිත පිරිසක් බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.