වවුනියාවේ මරක්කාරම්පලෙයි ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරෙකු ඝාතනය කළ තවත් ත්‍රිරෝද රථ රියැදුරෙකුට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා විසින් පෙරේදා (01) මරණ දඬුවම නියම කළේය.
මහාධිකරණ විනිසුරුවරයා විසින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟම මරණීය දණ්ඩනය හිමි වූ ත්‍රිරෝද රථ රියැදුරා විනිසුරුවරයාට වැඳ වැටෙමින් මහා විලාප තබා අධිකරණ ශාලාව දෙවනත් වන්නට විලාප තබමින් ඉල්ලා සිටියේ ඔහුට නිදහස ලබා දෙන ලෙසයි.
මේ විලාපය නිසා වවුනියාව අධිකරණයේ කටයුතු විනාඩි 20ක කාලයකට තාවකාලිකව නතර කිරීමට නියෝග කිරීමට මහාධිකරණ විනිසුරුවරයාට සිදු විය.
2013-01-28 වෙනි දින ඉලඇට කැඩී කැපුම් තුවාල තුනක් සහිතව මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් මහා මාර්ගයේ තිබී හමු වූ අතර ඒ සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය විසින් සිදු කළ පරීක්ෂණවලින් පසුව එම ඝාතනයට සම්බන්ධ ත්‍රිරෝද රථ රියැදුරෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
මියගිය පුද්ගලයාගේ රුධිර සාම්පලයක් හා අත්අඩංගුවට ගත් එක් ත්‍රිරෝද රථ රියැදුරෙකුගේ ත්‍රිරෝද රථයේ තිබී හමු වූ ලේ බින්දු තුනක් එකිනෙකට ගැළපීම නිසා ඝාතනය සිදු කළේ ඔහු බවට තහවුරු වී තිබේ.
දීර්ඝ නඩු විභාගයකින් පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුට එරෙහිව චෝදනා ඔප්පු නොවීම නිසා ඔහුට නිදහස ලැබුණු අතර අනෙක් තැනැත්තාට මරණීය දඬුවම නියම වුණි.