වැලිගම දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි – දෙදෙනෙකු මරුට

වැලිගම පැලෑන පොහොර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් අද (03) දහවල් දුම්රියේ ගැටීමෙන් දරුවෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත්  හතරදෙනකු බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිගම පොලීසිය පවසයි.

මාතර සිට මහනුවර බලා ධාවනයවූ දුම්රිය වැලිගම දුම්රිය ස්ථානයට ආසන්නව ධාවනය වෙමින් තිබියදී වැලිගම පැලෑන පොහොර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් ගැටී තිබුණි. 

ත්‍රීරෝද රථයේ මව සමග එකම පවුලේ දරුවන් 03 දෙනෙකු සහ තවත් ඥාතියෙකු ගමන් කර ඇත.

යුද හමුදාවේ සේවය කර නිවාඩු ලබා පැමිණ සිටි 32 හැවිරිදි ඥාතියෙකු එම ත්‍රීරෝද රථය ධාවනය කර තිබෙන අතර ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තුවාල ලැබූ වයස අවුරුදු 09ක දරුවෙක් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වී ඇත.

අනෙක් දරුවන් දෙදෙනා, මව සහ තවත් ඥාතියෙකු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පිරිස වැලිගම පැලෑන මෝදරවත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් බවද පොල්වතුමෝදර මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් තිදෙනාව මව විසින් රැගෙන ත්‍රීරෝද රථයෙන් නිවසට යමින් සිටියදී අනතුර සිදුවී ඇති බවද වාර්තා වෙයි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පිරිස අතර වයස අවුරුදු 07ක සිසුවෙකු අසාධ්‍ය තත්ත්වායන් ප්‍රතිකාර ලබන බවය.

මෙම දුම්රිය හරස් මාර්ගය ඇතුළු බොහෝ දුම්රිය හරස් මාර්ගවල දෝෂ පවතින බවද ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් වැලිගම පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Werzuo Digital

Leave a Reply