කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංකල්පයක් පරිදි සියයට සියයක් දේශීය ආහාර ද්‍රව්‍ය යොදා ගනිමින් සකස් කළ ආහාර අලෙවි කරන ‘හෙළ බොජුන් අලෙවි සැල්’ නමින් ව්‍යාජ අනුකරණ ආහාර අලෙවි ස්ථාන පවත්වාගෙන යන බැවින් ඒවාට නොරැවටෙන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඇණවුම් කළ අවස්ථාවේම සහල් පිටි යොදා සකස් කළ උණුසුම් ආහාර ලබා දීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ හෙළ බොජුන් අලෙවි සැල්වලින් සිදු කරන අතර, තිරිඟු පිටි වෙනුවට හාල් පිටි යොදා ගනිමින් සකස් කරන ලද ආහාර ප්‍රවර්ධනය දිවයින පුරා හෙළ බොජුන් ආහාර අලෙවි සැල් ජාලය මඟින් සිදු කරයි. මෙම හෙළ බොජුන් ආහාර අලෙවි සැල් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංකල්පයක් වන අතර, එනමින් වෙනත් පුද්ගලයන් ද ආහාර අලෙවි ස්ථාන පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තා වී තිබේ.
මේ පිළිබඳව සාකච්ඡාවක් පෙරේදා (27) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති අතර, මෙම වසරේදී හෙළ බොජුන් අලෙවි සැල් ප්‍රවර්ධනය සඳහා රජය විසින් රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කරනු ලැබ ඇති බැවින් එම මුදල් යොදා ගනිමින් මෙම අලෙවි සැල් ජාලයේ ප්‍රමිතිය රැක ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකසන්නැයි ඇමැති අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් හෙළ බොජුන් අලෙවි සැල්වල අනන්‍යතාවය හා ප්‍රමිතිය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා නිරන්තර අධීක්ෂණ කටයුතු මෙහෙයවන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට ද උපදෙස් ලබා දී තිබේ.