ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් මාතර උපන් ඡායාරූප ශිල්පී සේන විදානගම දිවි සැරිය නිමා කරයි

ලංකා පුවත්පත් ඉතිසාහාසයේ වඩාත් ආන්දෝලනාත්මක සහ සුවිශේෂිත වූ ඡායාරූප රැසකට හිමිකම් කියූ ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ප්‍රවීණ සහ සම්මානනීය පුවත්පත් ඡායාරූප ශිල්පී සේන විදානගම මහතා අද (8) අභාවප්‍රාප්ත විය.

ලේක් හවුස් ආයතනයේ සහ ප්‍රංශ පුවත් සේවයේ දශක ගනනාවක් ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කළ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසුවිය.

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාට 1987 ජූලි 30 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුරදී නාවික සෙබලෙක් ගිනිඅවියෙන් එල්ල කළ ප්‍රහාරයේ ඡායාරූපය ගැනීමට සමත් විය. එම ඡායාරූපය පසු කළක ලොව වඩාත් සුවිශේෂි ඡායාරූපයක් බවට ද පත්විය.

දෙදෙරු පියෙකු වන ඔහු ජායාරූප ශිල්පි සංඛ විදානගමගේ මහතාගේ පියා වෙයි.

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඡායාරූපය ගන්නා විට ලේක් හවුස් ආයතනයේ ඩේලි නිව්ස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කළ ඒ මහතාට එම ඡායාරූපය ප්‍රසිද්ධ වීමත් සමඟ ප්‍රංශ පුවත් සේවයේ මෙරට ඡායාරූප ශිල්පියා වශයෙන් සේවයට එකතු විය.

මාතර කපුගමදී 1945 වසරේ අගෝස්තු 19 වනදා උපත ලද සේන විදානගම ගලගම මහා විද්‍යාලයෙන් අධ්‍යාපන හැදෑරීය. විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයට පිවිසි ඔහු 1970 වසරේදී ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූ අතර 1979 වසරේදී ලේක්හවුස් ආයතනයේ ඡායාරූප අංශයට එක්විය.

ඒ මහතාගේ දේහය රාගම, ඇලපිටිවල නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳව අවසන් කටයුතු වැලිසර පොදු සුසාන භූමියේදී හෙට (9) පස්වරු 6.00 ට සිදුකෙරේ

Werzuo Digital

Leave a Reply