මෙරට දිනකට ළමා අපචාර සිද්ධීන් 32 ක් පමණ සිදුවන බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම ඊයේ (15 වැනිදා) අනාවරණය කළේය.
ඒ අනුව සෑම පැයකදීම ළමා අපචාරයක් සිදුවන බව සඳහන් කළ ඇමැතිවරයා, මෙම වසරේදී පමණක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපචාර සම්බන්ධව පැමිණිලි දසදහස් හත්සිය දහතුනක් (10,713) ලැබී ඇතැයිද සඳහන් කළේය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත එලෙස ලැබී තිබූ පැමිණිලිවලින් වයස අවුරුදු 05ට අඩු ළමා අපචාර සිද්ධීන් 1632 ක්ද, අවුරුදු 6 ත්, 10 ත් අතර පැමිණිලි 2626 ක්ද වූ බව සඳහන් කළ ඇමැතිවරයා ලැබෙන පැමිණිලිවලට සාපේක්ෂව වාර්තා නොවන සිදුවීම් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා බවද පැවැසීය.
ඇමතිවරයා එබව කියා සිටියේ, දරුවන් පිළිබඳ වාර්තාකරණයේදී ජනමාධ්‍ය අනුගමනය කළ යුතු ආචාරධර්ම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (15 වැනිදා) පැවැති වැඩමුළුවක් අමතමිනි.
ජනමාධ්‍ය සහ දරුවන් අතර ඇතිවිය යුතු සබඳතාව ගුරු – ශිෂ්‍යය බැඳීම හා සමාන විය යුතු වුවද, වර්තමානය වන විට එය බිල්ලා සහ ළමයා අතර පවතින සම්බන්ධය වැනි තත්ත්වයකට පත්ව ඇතැයිද ජනමාධ්‍ය ඇමැතිවරයා එහිදී සඳහන් කළේය