2021 වසරේ පොළොන්නරුව වනජීවී කලාපයේ අලි මරණ 71 සහ මිනිස් මරණ 17

පොළොන්නරුව වනජීවී කලාපයේ පසුගිය වසරේ (2021) අලි මරණ 71ක් සිදුවී ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

එම සංඛ්‍යාව 2020 වසර හා සසඳන කල බෙහෙවින් ඉහළ අගයක් පෙන්නුම් කරන බවද ඔවුහු පැවැසූහ.

වන අලි පහරදීම් හේතුවෙන් පසුගිය වසරේ (2021) සිදුවී ඇති මිනිස් මරණ ගණන 17කි. වනජීවී දෙපාර්තමේන්තුවේ නිල දත්තවලට අනුව ඊට පෙර වර්ෂයේ (2020) අලි මරණ 49ක් සිදුවී ඇති අතර මිනිස් මරණ 19ක් සිදුවී තිබේ.

පොළොන්නරුව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.ජී. කීර්ති චන්‍ද්‍රරත්න මහතා ප්‍රකාශ කළේ 2020 වසරට වඩා පසුගිය වසරේ 2021 වසරේ මෙම වනජීවී කලාපයේ වන අලි මරණ බොහෝ සෙයින් වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

සෑම වසරකම සිදුවන වන අලි මරණවලින් විශාල ප්‍රමාණයක් ස්වාභාවික මරණ නොව අහඹු අනතුරු සහ අලි මිනිස් ගැටුම් හේතුවෙන් සිදුවන අකල් මරණ බවත් වනජීවී කලාප තුළ සහ ඉන් බැහැරව බහුලව සිදු කෙරෙන නොයෙකුත් නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් අලි මිනිස් ගැටුම් ඉහළ යෑමට විශාල වශයෙන් බලපා තිබෙන බවද චන්ද්‍රරත්න මහතා පෙන්වා දෙයි.

වෙඩි තැබීම්, විදුලියසැර වැදීම්, හක්කපටස් ආහාරයට ගැනීම, අලි දුම්රියේ ගැටීම් නිසා සිදුවන අනතුරු ආදිය එම අකල් අලි මරණවලට විශේෂයෙන්ම හේතුවී ඇතැයිද ඒ මහතා කීය.

එහෙත් 2020 වසරේ නව කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනුගමනය කළ සෞඛ්‍ය පිළිවෙත් දැඩිව ක්‍රියාත්මක වීම නිසා වනජීවී කලාප ඇතුළු වනාන්තරවල නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් විශාල වශයෙන් අඩුවී තිබූ බව පෙන්වා දෙන සහකාර අධ්‍යක්‍ෂවරයා එම කාලයේ වනජීවී කලාප ඇතුළු වනාන්තරවල මහජනයාගෙන් සිදුවන නීති විරෝධී ක්‍රියා සහ අවහිරතා අඩුවීම හේතුවෙන් අලි ඇතුන් ප්‍රමුඛ වන සතුන් නිදහසේ තම පරිසරය බුක්ති විඳීම මේ සුවිශේෂී තත්ත්වයට බලපෑ බවද වැඩිදුරටත් පැවැසීය.

එසේ වුවද 2021 වසරේදී වනජීවී කලාප තුළ නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් ඉහළ ගොස් වන අලි ගම් වැදීම් ආදිය විශාල වශයෙන් වැඩිවූ බවද හෙතෙම සඳහන් කළේය.


මව්බිම

Werzuo Digital

Leave a Reply