දෙපා වාරු නැතත් බැරල් වලින් විල්බැරෝ හදන දිරිය මිනිසා (PHOTOS)

විශේෂ අවශ්‍යතා සහිත අවශ්‍යතා (ආබාධිත) සහිත පුද්ගලයන්ට අවශ්‍ය අනුකම්පාව නොව ප්‍රවේශ වීමේ හැකියාවයි. මාවත සුවදායක නොවුනද දුෂ්කර මාවතක ඔවුන් තම ගමන යයි. 

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව කෝදාගොඩ වෙසෙන සරත් මාපලගමදිරිය මිනිසෙකි. ඔහු ගොරහැඩි රළු බැරල් මනාව නවමින් කපමින් හැඩ දමමින් සිත්ගන්නා සුලු නිමැවුමක් බවට පත්කරයි .

මොහු ගේ අතින් නිමවන විල්බැරෝ තට්ටු ප්‍රධාන වශයෙන් වර්ග තුනකි. සවි ශක්තියෙන් ඉහළ එම නිෂ්පාදන සඳහා වෙළඳපොලේ විශාල ඉල්ලුමක් පවතියි. දුම් කබල්, කුඩු ලිප්, තාච්චි ආදියද ඔහුගේ අතින් නිම වෙයි.

දිවිගමනේ සිදු වූ  අහඹු නිමේෂයකදී රිය අනතුරකින් දෙපා අහිමි වුවත් තම දරු පස් දෙනාගේ සහ සෙවනැල්ල වන් බිරියගෙ අනාගතය සියතට ගෙන ඔවුන්ට සවියක් ව ඔහු නැගී සිටියි.

පාන්දර හතරට පමණ තම රාජකාරි අරඹන මේ දිරිය මිනිසා දිනකට විල්බැරෝ තට්ටු හයක් පමණ සෑදීමට සමත් වේ.

දිනකට රුපියල් 7000ක පමණ ශුද්ධ ලාභයක් ඔහුට ඔහුගේ නිර්මාණ හරහා ලබාගත හැකිය. ඒ ඔහුගේ ආබාධිත බව පරයා නැගෙන නිෂ්පාදන ගුණාත්මක බව නිසාවෙනි.

ගල් කැටයම් කලාව, නල ළිං ගැසීම වැනි ක්ෂේත්‍ර කීපයකට ඔහු උපන් හපන් කමක් දක්වයි.

ප්‍රධාන නිෂ්පාදන අමුද්‍රව්‍ය වන බැරල් හිඟකම නිසා කොරෝනා තත්ත්වය හමුවේ ගැටලුවකට මුහුණ පෑමට ඔහුට සිදු වී තිබේ. බැරල් ලබා ගැනීමේ අපහසුකම නිසා දැනට ඔහුගේ නිෂ්පාදනය සිදු කර ගත නොහැකි තත්වයට පත්ව ඇත.

සරත් මාපලගම මහතා අප සමග පැවසුවේ

“දකුණු පළාතේ මගේ විල්බැරෝ තට්ටුවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. මගේ කකුල් දෙක නැතිවුනේ 1994  ජුනි 18 වෙනිදා. ඉන් පස්සෙ මම කොහු ඉදල් හැදුවා, සපත්තු මැහුවා නමුත් සාර්ථක වුණේ නෑ. පස්සේ තමයි විල්බැරෝ තට්ටු කර්මාන්තයට ආවෙ ඒක ගොඩක් සාර්ථක වුණා.

මීට අමතරව කුඩු ළිප් අගුරු කබලවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. මෙම අමුද්‍රව්‍ය මම සපයා ගන්නෙ ඉමදුව මාතර වගේ ප්‍රදේශවලින් කොරෝනා නිසා බැරල් හිඟකම තමයි තියෙන්නේ .මෙම නිෂ්පාදන මම හක්මන, බද්දේගම වගේ ප්‍රදේශවලට අරගෙන යනවා. ඒකට මගේ දරුවෝ මට උදව් කරනවා. මට ඕන මේක මුළු ලංකාවටම ගෙනියන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න. දියුණු කරගන්න.”

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමාජ සේවා අංශ, සමගි ස්වශක්ති සංවිධානය ඔහුට සැමදා සවියක් ව ඇත.

කටුවෙන් මිටියෙන් ජීවිතය සොයන ඔහු අපේ කාලයේ චුල්ල සෙට්ටි කෙනෙක් වනු ඇත .මේ දිරිය මිනිසා කවදා හෝ ජීවිතය  දිනනු නොඅනුමානය.

Werzuo Digital

Leave a Reply