මෙරට ඩෙල්ටා පරදවා ඔමික්‍රොන් ආසාදිතයින් වැඩිවිමේ අවදානමක්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය අභිබවා ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෛරස ප්‍රභේදය බවට පත්වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව  විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය

මේ අතර ඊයේ (15) මෙරටින් අලුතින් සොයා ගැනුණු ඔමික්‍රොන් ආසාදිතයින්ගෙන් බහුතරයක් කටුනායක ගුවන් තොටුපොළ හරහා විදේශ ගත වීමට පැමිණි  කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් බවද ඔහු සඳහන් කර ඇත. 

ඔමික්‍රොන් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනෙන් දෙකක් මෙරට සාම්පලවලින් හඳුනාගෙන ඇති අතර, ඉන් එක් ප්‍රභේදයක් ස්වභාවික සහ එන්නත්කරණ ප්‍රතිශක්තියට වැඩි ප්‍රතිරෝදයක් දක්වමින් වැඩි සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත වන බවද ඔහු සදහන් කර ඇත.

මේ අනුව මෙරටින් මේ දක්වා හමුවී ඇති ඔමික්‍රෝන්  ආසාදිතයන් සංඛ්‍යාව  208ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර පෝලන්ත වෛද්‍ය විද්‍යාඥයන් විසින් සොයාගත් කොරෝනා ආසාදනය වූ විට සංකූලතා වැඩි කරන ජානය මෙරට පුද්ගලයින්ගේ ශරීර තුළ පවතින්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පර්යේෂණ පැවැත්වීමට අපේක්ෂා කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය ප්‍රකාශ කර ඇත.

Werzuo Digital

Leave a Reply