එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රි ලංකාවේ නිවාස ලක්ෂයකට සූර්ය විදුලිය

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ලක්ෂයක් සඳහා සූර්ය ජනක පද්ධති ලබාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Burj Energy Intrenational Managemenet Limited සමාගම ආයෝජනයක් ලෙස මෙරටට ලබාදීමට ඉදිරිපත් වී සිටී.

ඉහත සඳහන් සමාගම විසින් මෙරට අඩු ආදායම්ලාභී නිවාස ලක්ෂයකට සූර්යජනක පද්ධති ලබාදෙනු ලැබේ. අදාළ ප්‍රතිලාභී නිවාසවලට වසර 15ක් යනතෙක් මසකට රුපියල් 2,500 බැගින් ලබාදෙන අතර වසර 15කින් පසු එම සූර්යජනක පද්ධති අදාළ නිවාස හිමියටම පවරනු ලැබේ. එහිදී යෝජිත ධාරිතාව කි.වො. 5ක් වන අතර නිවාස හඳුනා ගැනීම ශ්‍රී ලංකා රජය මඟින් කළයුතු වන්නේය.

හඳුනාගත් එකී නිවාසවල සූර්යජනක පද්ධති සම්බන්ධ කිරීම් එම සමාගම මඟින් ක්‍රියාත්මක කරන අතර එය සූර්යජනක පද්ධති සවිකරන මෙරට සම්මත තාක්ෂණික පිරිවිතර අනුව ක්‍රියාත්මක වේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ආයෝජනයකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙන් විශාල රැකියා ප්‍රමාණයක් ජනිත වේ.

මෙමඟින් පද්ධතියට එකතු කළ හැකි ධාරිතාව මෙ.වො. 500ක් පමණ වේ. මෙම ආයෝජනයට අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් සූර්යබල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ අදාළ සමාගම අතර සිදුකිරීමට යෝජනා කර ඇතැයි විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030 වර්ෂය වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් ලබාගත යුතු වේ. මෙය 2021 වර්ෂයේ අය _ වැය යෝජනාවක් ලෙසද ඉදිරිපත් වූ නමුත්, මේ සඳහා අය _ වැය ප්‍රතිපාදන වෙන්කර නොතිබුණු නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි වූ බව විදුලිබල ඇමැතිවරයා සිය කැබිනට් සන්දේශයෙන් පෙන්නා දී තිබේ.

Werzuo Digital

Leave a Reply