මැදදුම්බර රේටියගම ආශ්‍රිතව භුචලන තුනක්

මැදදුම්බර රේටියගම ප්‍රදේශය ආශ්‍රිතව පෙරේදා (20) පස්වරුවේ හා ඊයේ (21) පෙරවරුවේ කිසියම් භූ චලනයක් සිදු වූ බව ප්‍රදේශවාසීහු පවසති.

පෙරේදා පස්වරු 1.30ත් ඊයේ පෙරවරු 10.30ත් අතර කාලයේදී අවස්ථා තුනක දී විශාල ගිගුරුම් හඬක් සමග පොළොව දෙදරි යාමක් සිදු වූ බව දැනුනු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මධ්‍යම පළාත් පරිසර සංරක්ෂණ එකමුතුවේ පරිසර ක්‍රියාකාරිකයකු වූ එස්.පී ලියනාරච්චි මහතා පැවසුවේ මෑත කාලයේ වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව ද භූමිකම්පන රැසක් ඇතිවූ පසුබිමක මැදදුම්බර රේටියගම ආශ්‍රිතව ඇතිවෙමින් පවතින භූ කම්පන පිළිබඳව විධිමත් අධ්‍යයනයක අවශ්‍යතාවය මතුව ඇති බවය.

අප මේ සම්බන්ධයෙන් පේරාදෙණි විශ්වවිද්‍යාලය ගර්භය විද්‍යා අංශ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මැදදුම්බර රේටියගම ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ බව සඳහන් භූකම්පන ත්‍රිත්වය ජාත්‍යන්තරව ඒ මොහොතේ සිදුවී ඇති භූ කම්පන හා සමපාත නොවන නමුත් රේටියගම ආසන්න පොළොව  අභ්‍යන්තරය ගමන් කරන විභේදවල කම්පන එහි ජනතාවට දැනී ඇති බවට විශ්වාස කළ හැකි බවයි.

මෙවන් කම්පන නැවත නැවත ඇතිවිය හැකි බවට අවධාරණය කළ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඒ හරහා රේටියගමට ඉහලින් ඇති බෑවුම් ප්‍රදේශය ආශ්‍රිත විශාල පාෂාණ ලිහිල්ව පහතට ඒමේ අවදානමක් ද ඇති විය හැකි බව අනතුරු ඇඟවීය.

මේ අතර ප්‍රදේශය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති හා විශේෂයෙන් දැනට පවත්වාගෙන යන ගල් වළවල් පිළිබඳ සැලකීමේ දී ඒවා පවත්වාගෙන යාම සඳහා අවසර ලබා දීමේදී භූ විද්‍යා ගවේෂකයන්ගේ අධීක්ෂණය යටතේ පමණක් සිදු කිරීම වඩාත් කාලෝචිත වන බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ලංකාදීප 

Werzuo Digital

Leave a Reply