පාසල් නොගොස් රෝගී මව රකින පුංචි පුතෙක්

“තාත්තා ලෙඩ වෙලා මියගියා. අම්මා අසනීපෙන් අම්මට මොනවා හරි වුණොත් මට කවුරුත් නැතිව යනවා අම්මට වැඩක් පලක් කරන්න බැරි නිසා මම අහල පහල ගෙවල්වලට ගිහින් ඉල්ල ගෙන එන දෙයක් කාලා අපි ජීවත් වෙනවා” 11 හැවිරිදි සුපුන් පැවසීය.

සුරතල් ළමා කාලයක් ගෙවා දැමිය යුතු සුපුන්ට ඒ අයිතිය නැත. ඔහු තම මව ජීවත් කරමින් ජීවත්වීම සඳහා අරගලයකය. එදිනෙදා කුලී වැඩක් හෝ කළ නොහැකි තරම් මව ඔත්පලය. ඒ නිසා දරුවා තැන තැන යයි. ඔහු ඉල්ලා ගෙන එන දෙයකින් දෙදෙනාම රැකෙයි.

පෞද්ගලික ආයතනයක සේවක මහතුන්ගේ මඟපෙන්විම මත අගලිය, පාතවැලිවිටිය ගමේ පිහිටි මේ දරුවාගේ නිවසට අප යන විටත් ඔහුගේ මවගේ කටයුතු වල යෙදී සිටියේ ය.

“මං ඉස්කෝලේ ගියා. 5 වසර ශිෂ්‍යත්වයට මට ලකුණු 78ක් තියෙනවා ඒත් මම ඉස්කෝලේ ගිහින් ඉන්න අතරේ අම්මට මොනවාහරි වුනොත් මට කවුරුත් නැතිව යනවා. ඒ නිසා මම දැන් ඉස්කෝලේ යන්නේ නැහැ” ඔහු කීය.

“මම ඉස්කෝලේ ගිහින් ඉගෙන ගෙන රස්සාවක් කරලම බලාගන්න ආසයි ඒත් එතකොට අම්මා බලාගන්නේ කවුද” ඔහු තම සිහිනයත් එය ඉටුකර ගන්නට දී බාධකත් අප හමුවේ කියා පෑවේය.


අසල්වැසි කාන්තාවක් වන ලීලාවති සූරියාරච්චි මහත්මිය අප හා කියා සිටියේ “මේ අම්මා අසනීපයෙන්. ගමේ මිනිස්සු තමයි මේ අයව බලාගන්නේ. ඒත් අම්මට කවුරුහරි ගහයි බනියි කියලා බයේ දරුවා ඉස්කෝලෙට යන්නේ නැහැ. ඉගෙන ගන්න පුළුවන් දක්ෂ දරුවෙක්. මම අඩුපාඩු දීලා ඉස්කෝලෙ යවන්න හැදුවත් බය යන්නේ නැහැ. රුපියල් 7000 ලයිට් බිලක් ගමේ මිනිස්සු එකතුවෙලා ඒක ගෙවමින් ඉන්නවා.  මේ අම්මට ප්‍රතිකාර කරන්නටත් දරුවා ඉස්කෝලේ යවන්නටත් කටයුතු කරනවා නම් ලොකු පිනක්”

අංක 196 බී පාතවැලිවිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි මේ අම්මා සහ දරුවා ගැන තොරතුරු 0771046515 හෝ 0712583995 අංක වලින් ලබාගත හැකිය

මව්බිම 
Werzuo Digital

Leave a Reply