ඉන්දීය මාරක දුම්රිය අනතුර සම්බන්ධයෙන් එරට දුම්රිය සේවකයන් තුනක් අත්අඩංගුවට

293 දෙනකුට මරු කැඳවමින් 1000 අධික පිරිසකට තුවාල සිදු කරමින් ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් හි පසුගිය මාසයේ සිදුවූ බිහිසුණු දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය  සේවකයෝ තිදෙනෙක් මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ එරට දුම්රිය සේවයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු, ඉංජිනේරුවරයෙකු සහ කාර්මික ශිල්පීයෙකු වන බව එම වාර්තා සඳහන් කළේය.

මෙම සැකකරුවන්ට එරෙහිව සාපරාධී මිනීමැරුම් සහ සාක්ෂි විනාශ කිරීම පිළිබඳ චෝදනා ගොනු කිරීමට මධ්‍යම විමර්ශන කාර්යාංශය කටයුතු කර ඇත.

දුම්රිය මගීන් 293 කට මරු කැඳවමින් තවත් මගීන් 1000 කට තුවාල සිදු කරමින් සිදු වූ එම අනතුර මෙම සැකකරුවන් තිදෙනාගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් සිදුව ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

මොවුන් තිදෙනාගේ ක්‍රියා කලාපයන් අනතුරට හේතු වී ඇතත් මොවුන්ට මිනී මැරීමේ චේතනාවක් තිබී නොමැති බවද මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

චේතනාව තිබුණ බව තහවුරු වූවා නම් සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කරන බව මධ්‍යම විමර්ශන කාර්යාංශය පෙන්වා දී තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply