කරච්චි නුවර අභිරහස් මරණවලට හේතුව හෙලිවෙයි

පාකිස්තානයේ කරච්චි නුවර කෙමාරි පළාතේ අබිරහස් ලෙස කුඩා දරුවන් ඇතුළු 18 දෙනකු මිය යාමේ සිද්ධියට හේතුව එම ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලා දෙකකින් විෂ රසායනික ද්‍රව්‍ය බැහැර කිරීම බව එරට සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉකුත් ජනවාරි 10 වැනිදා සිට 25 වැනිදා කාලයේ මෙම මරණ වාර්තා වු බවත් මියගිය 18 දෙනාගෙන් 14 දෙනකු කුඩා දරුවන් බවත් තවත් 50 දෙනෙකු පමණ අභිරහස් ලෙස ලෙඩවි ඇති බවත් එම වාර්තා සඳහන් කළේය.

පලමුව වෛද්‍යවරුන්ට හඳුනා ගැනිමට අපහසු වුණු මෙම රෝගී තත්ත්වය උණ, උගුරේ අමාරුව සහ හුස්ම හිරවීම වැනි මූලික රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර, රෝගය ආරම්භ වී දින පහක් හෝ හතක් ඇතුළත ඔවුන් මිය ගිය බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

එරට සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර මෙම මරණවලට හේතුව අනාවරණය කරගත් අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් කර්මාන්තශාලා හිමියෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply