කොවිඩ් හේතුවෙන් හැම්ස්ටර් සතුන් 2000 මරා දැමිමට තීරණයක් (PHOTOS)

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හොංකොං හි සුරතල් සතුන් 2,000 ක් මරා දැමීමට එරට සෞඛ්‍ය අංශ තමන්ට උපදෙස් ලබා දී ඇතැයි හොංකොං කෘෂිකර්ම, ධීවර සහ සංරක්ෂණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හොංකොං නුවර, සුරතල් සතුන් අලෙවිසැලක, අලෙවියට තැබූ හැම්ස්ටර් මීයකුට කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ අනුව සුරතල් සතුන් 2,000 ක් මරා දැමීමට සෞඛ්‍ය අංශ තීරනය කර ඇත.

එම හැම්ස්ටර් මීයාට කොවිඩ් ආසාදනය වී ඇත්තේ වෙළෙඳසැලේ සේවකයකුගෙනි. එම සේවකයාට ආසාදනය වූයේ කොවිඩ් “ඩෙල්ටා විකෘතිය” යැයි පසුව අනාවරණය වි තිබේ..

මෙම හැම්ස්ටර් සතුන් නෙදර්ලන්තයේ සිට  හොංකොං බලා රැගෙනවිත් ඇත. මෙම ආසාදිත හැම්ස්ටර් සත්වයා ඇතුළු සෙසු හැම්ස්ටර් සතුන් 2,000 ක් මරා දැමීමට සිදුවනු ඇති බව හොංකොං කෘෂිකර්ම, ධීවර සහ සංරක්ෂණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පැහැදිලි කර තිබෙන බව ද එම වාර්තා සදහන් කලේය.

කොරෝනා වෛරසය පැතිරීම සඳහා සතුන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බවක් නොපෙනෙන බව එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන වාර්තා වලට අනුව සදහන් වුවත්  හොංකොං බලධාරීන් පැවසුවේ සතුන් සහ මිනිසුන් අතර සම්ප්‍රේෂණය බැහැර නොකරන බවයි. ඒ අනුව ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

පූර්වාරක්ෂක පියවරක් ලෙස, ජනවාරි 7 වනදා පසු මෙම හැම්ස්ටර් සතුන් මිලදී ගත් පාරිභෝගිකයින් සොයා බලා අනිවාර්ය නිරෝධායනයකට ලක් කරන බවත් ඔවුන්ගේ බාරයේ තිබෙන හැම්ස්ටර් සතුන් බලධාරීන්ට භාර දිය යුතු බවද එරට බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සදහන් කලේය.

හොංකොං හි සියලුම සුරතල් සතුන් විකිණෙන ස්ථානවල හැම්ස්ටර් සතුන් විකිණීම වහාම නතර කළ යුතු බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.

හැම්ස්ටර් සහ චින්චිලා ඇතුළු කුඩා ක්ෂීරපායින් 2,000 ක් පමණ මානුෂීය ආකාරයකින් මරා දමන බවද එම වාර්තා පැවසීය.

Werzuo Digital

Leave a Reply