පලස්තීන ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම්වල නිරත ඊශ්‍රායල හමුදාවලට මසකින් පසු දරුණුතම හානියට මුහුණ දීමට ඊයේ (13) සිදුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය
මාස දෙකකට වැඩි කාලයක් දරුණු ගුවන් ප්‍රහාරවලට ලක්ව සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති ගාසා තීරයේ උතුරු කොටසේ ෂෙජයිකා (Shejaia)හි දී හමාස් සංවිධානය සැඟවී එල්ල කළ ප්‍රහාරයක් මෙලෙස ඊශ්‍රායල හමුදාවලට ප්රබලතම හානිය සිදු කර තිබේ.
එහි දී ඊශ්‍රායල හමුදාවේ ලුතිතන් කර්නල්වරයෙකු ඇතුළු සෙබළුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කරයි.
එය පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ඊශ්‍රායල හමුදා සෙබළුන් 15 දෙනෙකු ගොඩබිම් ප්‍රහාරවල දී මියයාමෙන් පසු ඊශ්‍රායල හමුදාවට සිදු වූ දරුණුතම හානිය ලෙස සැලකේ.
ඊයේ සිදු වූ හමුදා ජීවිත හානි සමඟ ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාරවල දී මියගිය ඊශ්‍රායල සෙබළුන් සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් ඇත.
ගොඩනැගිල්ලක් තුළ හමාස් සන්නද්ධ කණ්ඩායමක් සමග සටන් කිරීමේ දී කොටු වී සිටි ඊශ්‍රායල සෙබළුන් පිරිසක් මුදාගැනීමට ගිය ඊශ්‍රායල හමුදා කාණ්ඩයක් මෙලෙස හමාස් සංවිධානය සැඟවී එල්ල කළ ප්‍රහාරයට ගොදුරු වී තිබේ.
හමාස් සංවිධානය ප්‍රකාශ කළේ, ඊශ්‍රායල හමුදාවලට ගාසා තීරය මුළුමනින් යටපත් කළ නොහැකි බව මෙම ප්‍රහාරයෙන් ඔප්පු වන බවයි.
ගාසා තීරයේ රැඳී සිටින කාලය දිගු වන තරමට ඔවුන්ට වැඩි හානියකට මුහුණ දීමට සිදු වනු ඇති බව ද හමාස් සංවිධානය කියා ඇත.
ඊශ්‍රායල හමුදාවලට මෙම ප්‍රහාරයට මුහුණ දීමට සිදු ව ඇත්තේ, ගාසා තීරයේ අසීමාන්තික යුද මෙහෙයුම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් අප්‍රාසාදයක් එල්ල වී ඇති අවස්ථාවකයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස යෝජනාවක් සම්මත කරගනු ලැබූ අතර, ගාසා තීරයට ඉවක් බවක් නොමැතිව එල්ල කරන ගුවන් ප්‍රහාර අමෙරිකානු ජනපති ජෝ බයිඩින්ගේ පවා නොසතුටට හේතු විය.
ගාසා තීරයට වග විභාගයකින් තොරව එල්ල කරන ගුවන් ප්‍රහාර, ඉන්සිසුක්රිමිනේ බෝම්බින් (Indiscriminate Bombing) හේතුවෙන් ඊශ්‍රායලයට ජාත්‍යන්තර සහාය අහිමි වෙමින් පවතින බව ජනපති ජෝ බයිඩ්න් කියා තිබේ.
එහෙත් ධවල මන්දිරයේ ප්‍රකාශක ජොන් කර්වේ පසු ව ජනපති බයිඩ්න්ගේ ප්‍රකාශය නිවැරදි කිරීමට උත්සාහ කළ අතර, ඔහු කියා සිටියේ එය ලෝක මතය බවයි.
ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදු වන හානි අවම කළ යුත බව ජනපති බයිඩ්න් එහි දී අවධාරණය කළ බව ධවල මන්දිර ප්‍රකාශකයා සඳහන් කරයි.
කෙසේ නමුත් ජනපති බයිඩ්න් සහ ඊශ්‍රායල අගමැති නෙතන්යාහු තවදුරටත් හොඳ මිතුරන් බවත් ඊශ්‍රායලයට අමෙරිකානු සහාය අඛණ්ඩව හිමි වන බවත් ඔහු පැහැදිලිව සඳහන් කරයි.