ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී රියදුරු අනු නවයෙන් දිවි බේරාගනී

ගාල්ල තලාපිටිය බේකරි හන්දිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද (15) සවස බෙලිඅත්ත සිට ගාල්ල බලා ධාවනය වූ මන්දගාමි දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටී තිබේ.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයට සුළු හානි සිදුවී ඇති අතර රියදුරු දිවි බේරාගෙන ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

මෙම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ ආලෝක සංඥා ක්‍රියාත්මක නොවන අතර අධික වර්ෂාවක් පවතින අවස්ථාවක මෙම අනතුර සිදුව තිබේ.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ත්‍රිරෝද රථය ඇතුළු කරනවාත් සමගම ත්‍රීරෝද රථයේ ඉදිරිපස දුම්රියේ ගැටී නැවතී තිබෙන අතර රියදුරු එළියට පැන දිවි බේරාගෙන තිබේ.

පාසල් තුනක සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙම හරස් මාර්ගය හරහා ගමන් ගන්නා බවත් අනතුරු ඇඟවීමේ විදුලි ආලෝක සංඥා පද්ධතිය ක්‍රියාත්මක නොවිම නිසා ඔවුන්ගේ ජීවිත ද දැඩි අවදානමකට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

මින් පෙර මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය අසල අනතුරු රැසක් සිදුව ඇති බවත් ඉන් පුද්ගලයන් හය දෙනකු පමණ මිය ගොස් ඇති බවද ඔවුන් පැවසීය

අක්‍රීයව පවතින අනතුරු ඇඟවීමේ විදුලි ආලෝක සංඥා පද්ධතිය යළි සකස් කර දෙන ලෙස හෝ ආරක්ෂිත ගේට්ටුවක්  ලබාදෙන ලෙස ප්‍රදේශවාසීන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Werzuo Digital

Leave a Reply