තම ජංගම දුරකථනය සොරාගත් සොරුන් දෙදෙනෙකු පසුපස හඹා ගිය පෙදරේරුවෙක් සොරෙකුගේ පිහි ඇනුමකින් මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොනරාගල නමුණුකුල පදිංචිව සිටි දෙදරු පියෙකි.
ගල්කිස්ස බොරුපණ පැරකුම් මාවතේ ඉදි කරමින් පවතින නිවසක පෙදරේරුවන් දෙදෙනෙක් එම භූමියේ වාඩියක නිදාගෙන සිටියදී අද (29) පුද්ගලයන් දෙදෙනකු වාඩියට ඇතුළුවී ජංගම දුරකථනයක් සොරාගෙන තාප්පෙන් පැන පලා යාමේදී පෙදරේරුවන් දෙදෙනා ඔවුන් දෙදෙනා පසුපස හඹා ගොස් තිබූ බව පොලිසිය පවසයි.
මිටර් 100 ක පමණ දුරක් හඹායාමේ ගොස් පෙදරේරුවන් දෙදෙනා සොරුන් දෙදෙනා අල්ලා ගෙන තිබූ අතර එහිදී එක් සොරකු විසින් සඟවා ගෙන සිටි උල් පිහියකින් පෙදරේරුවකු ගේ පපුවට ඇන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.